Sunday, May 5, 2024

General line - 0115112241

පාකිස්තානය නවසීලන්තය පරාද කරමින් ශ්‍රී ලංකාව පහලට ඇද දමයි

තරංග රුක්ෂාන් - විදෙස් මාධ්‍ය ඇසුරෙන්




ලෝක කුසලාන ක‍්‍රිකට් තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටයට පිවිසීමේ බලාපොරොත්තු නංවා ගැනීමට පාකිස්තාන කණ්ඩායම ඊයේ (26) සමත් වුණා. ඒ, නවසීලන්තයට එරෙහි තීරණාත්මක තරගය කඩුලූ 06කින් ජය ගනිමින්.

තරගයේ ප‍්‍රථමයෙන් පන්දුවට පහරදුන් නවසීලන්තය කඩුලූ 06කට ලකුණු 237ක් රැස් කළා. එහිදී පාකිස්තාන වේග පන්දු යවන්නන්ගෙන් නවසීලන්ත පිතිකරුවන්ට ප‍්‍රබල අභියෝගයක් එල්ල වූ අතර ඔවුන්ගේ මුල් කඩුලු 05, ලකුණු 83ක් තුළ බිඳ වැටුණා.

06වන කඩුල්ල වෙනුවෙන් ලකුණු 132ක සබඳතාවක් ගොඩනැගීමට ජේම්ස් නීසන් සහ කොලින් ඩි ග‍්‍රෑන්ඞ්හෝම් සමත් වුණා. ජේම්ස් නීසන් එහිදී නොදැවී ලකුණු 97ක් රැස් කළා.

පන්දු යැවීමේදී සහීන් ෂා අෆ්රිඩි ලකුණු 28කට කඩුලූ 03ක් බිඳ හෙලූවා. 

පිළිතුරු ඉණිම ක‍්‍රීඩා කළ පාකිස්තානය සිය ජයග‍්‍රහණය අත්කර ගත්තේ පන්දුවාර 49යි එක් පන්දුවකදීයි. විශිෂ්ට ඉණිමක් ක‍්‍රීඩා කළ බාබර් අසාම් නොදැවී ලකුණු 101ක් රැස් කළා.

නවසීලන්තය මෙවර තරගාවලියේදී තරගයක් පරාජයට පත්වූ පළමු අවස්ථාව මෙයයි. ගත වූ වසර 08ක කාලය තුළ නවසීලන්තය ලෝක කුසලානයක මූලික වටයකදී ලද පළමු පරාජය ද මෙය වනවා. මෙම ජයග‍්‍රහණයත් සමග පාකිස්තාන කණ්ඩායම ප‍්‍රසාද ලකුණු 07ක් සමග ලෝක කුසලාන ප‍්‍රසාද ලකුණු සටහනේ 06වන ස්ථානයට පැමිණියා.

ඒ, ප‍්‍රසාද ලකුණු 06ක් ලබාසිටි ශ‍්‍රී ලංකාව 07වන ස්ථානය දක්වා ඇද දමමින්.