Sunday, April 28, 2024

General line - 0115112241

මාලිංග සහ මැතිව්ස්ගේ අත්දැකීම් ජය ගිලිහෙමින් ඇති මොහොතේ ශ‍්‍රී ලංකාවට ජය ගෙනදෙයි




ලසිත් මාලිංගගේ අත්දැකීම් සහ වසර එක හමාරකට පසු ඇන්ජලෝ මැතිව්ස් යැවූ පන්දුවාරය හේතුවෙන් ගිලිහෙමින් තිබූ බටහිර ඉන්දීය කොදෙව්වන්ට එරෙහි තරගයේ ජය ඊයේ (01) රාත‍්‍රියේ ශ‍්‍රී ලංකා පිල සතු වුණා.

මෙම කණ්ඩායම් 02ම මේ වනවිටත් ලෝක කුසලානයෙන් ඉවත් වී සිටින බැවින් ඊයේ තරගය දෙපිලේම ගෞරවයට එක සේ වැදගත් තරගයක්. 

තරගයේ ප‍්‍රථමයෙන් පන්දුවට පහරදුන් ශ‍්‍රී ලංකාව මෙවර ලෝක කුසලානයේ දී කණ්ඩායමක් ලෙස රැස් කළ ඉහළම ලකුණු සංඛ්‍යාව රැස්කර ගනිමින් කඩුලූ 06කට ලකුණු 338ක් රැස් කළා.

එහිදී සිය මංගල එක්දින ශතකය රැස්කර ගනිමින් තවමත් 21 වන වියේ පසුවන අවිශ්ක ප‍්‍රනාන්දු ලබාගත් ලකුණු 104 කැපී පෙණුනා.

ලකුණු 339ක ඉලක්කයක් හඹා ගිය කොදෙව් කණ්ඩායමේ මුල්පෙල පිතිකරුවන්ට ලසිත් මාලිංග සහ ධනංජය ද සිල්වා ආරම්භක පන්දු යවන්නන් ලෙස ප‍්‍රබල අභියෝගයක් එල්ල කළා. සිය පළමු පන්දුවාර කිහිපයේදී ලසිත් මාලිංග කොදෙව් මුල්පෙල කඩුලූ 02ක් බිඳ දැමීමත් සමග ඔවුන්ගේ ලකුණු හඹායාම අඩාල වුණා.

පන්දුවාර 35ක දී ලකුණු 199කට කඩුලූ 06ක් බිඳ වැටී ජයග‍්‍රහණය ඈතට යමින් සිටි කොදෙව් කණ්ඩායමට ජයග‍්‍රහණයේ බලාපොරොත්තු ඇති කිරීමට නිකොලස් පුරාන් සහ ෆැබියන් ඇලන් සමත් වුණා. 

තවමත් 23 හැවිරිදි වියේ පසුවන පුරාන් එහිදී පන්දු 103ක දී ලකුණු 118ක් රැස් කළා. ඒ, ඔහුගේ මංගල එක්දින ශතකයයි. ඇලන් පන්දු 32ක දී ලකුණු 51ක් රැස් කළ අතර ඔවුන් දෙදෙනා 07වන කඩුල්ල වෙනුවෙනු ගොඩනැගු සබඳතාව ලකුණු 83ක්.  

පන්දු යවන්නන් 05 දෙනෙකු පමණක් එක්කර ගනිමින් ශ‍්‍රී ලංකා පිල ඊයේ තරගවැදුණු නමුත් කසුන් රාජිත සහ ජෙෆ්රි වැන්ඩර්සේ සිය වගකීම නිසි ලෙස ඉටු නොකිරීම හේතුවෙන් කොදෙව් පිලට පහසුවෙන් ජයග‍්‍රහණය පිළිබඳ බලාපොරොත්තු ඇතිකර ගැනීමට හැකි වුණා.

කසුන් රාජිත සිය පන්දුවාර 10දී ලකුණු 76ක් කොදෙව්වන්ට ලබාදුන් අතර වැන්ඩර්සේ පන්දුවාර 07ක දී ලකුණු 50ක් ලබාදුන්නා. පාසල් ක‍්‍රීඩකයෙකුටත් වඩා පහළ මට්ටමෙන් වැන්ඩර්සේ සිදු කළ ඇතැම් පන්දුවාර සම්බන්ධයෙන් ජාත්‍යන්තර විචාරකයින් පවා විවේචන එල්ල කළා. එමෙන්ම කුසල් මෙන්ඩිස්, තිසර පෙරේරා සහ ඉසුරු උදාන අතින් පහසු උඩපන්දු 03ක් ගිලිහී යාම ද තරගයේදී දැකගත හැකි වුණා. 

වේගවත් පිතිහරඹයක නිරත වෙමින් නිකොලස් පුරාන් කඩුල්ලේ රැදී සිටීම හේතුවෙන් එක් අවස්ථාවක දී ශ‍්‍රී ලංකා නායක දිමුත් කරුණාරත්නට පවා එක් පන්දුවාරයක් ක‍්‍රියාත්මක කිරීමට සිදු වුණා.

වැන්ඩර්සේගේ දුර්වල පන්දුයැවීම හේතුවෙන් තරගයේ 48 වන සහ අවසන් පන්දුවාරය යැවීම සම්බන්ධයෙන් ශ‍්‍රී ලංකා පිලට මතුවුයේ දැඩි ගැටළුවක්. ඒ අනුව 48 වන පන්දුවාරය යැවීමේ වගකීම තමන් අතට ගත් ඇන්ජලෝ මැතිව්ස් මෙවර ලෝක කුසලානයේ තමන් යැවූ පළමු පන්දුවෙන් නිකොලස් පුරාන් දවා ගනිමින් ශ‍්‍රී ලංකාවට ජයග‍්‍රහණය අත්කර දුන්නා. 

පාදයේ ආබාධයට ලක්වීම හේතුවෙන් මෙවර තරගාවලියේදී පන්දු යැවීම සිදු නොකිරීමේ අපේක්ෂාවෙන් සිටි මැතිව්ස් මෙලෙස පන්දුවාරයක් ක‍්‍රියාත්මක කළේ 2017 වසරේ දෙසැම්බර් මාසයෙන් පසුවයි.

මෙම තරගය නැරඹීම සඳහා ලෝක ප‍්‍රකට ගායිකා රිහානා ද කොදෙව් කණ්ඩායමේ දිරිගන්වන්නියක් ලෙස සහභාගී වී සිටීමද ලොවපුරා කාගේත් කතාබහට ලක්වුණා.  මේ අතර ලෝක කුසලාන ක‍්‍රිකට් තරගාවලියේ ඉන්දියා - බංග්ලාදේශ තීරණාත්මක තරගය අද (02) පැවැත්වෙනවා.