Sunday, April 28, 2024

General line - 0115112241

දැවැන්ත ඉලක්කය හඹා ගිය බංග්ලාදේශයේ බලාපොරොත්තු බොඳ වේ

කසුන් කැළුම් - විදෙස් මාධ්‍ය ඇසුරෙන්




මෙවර ලෝක කුසලාන කි‍්‍රකට් තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගැනීමට ඉන්දීය කණ්ඩායම ඊයේ (02) රාති‍්‍රයේ සමත් වුණා. ඒ, බංග්ලාදේශය සමග පැවති තරගය ලකුණු 28 කින් ජය ගනිමින්.

අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබූ දෙවන කණ්ඩායම ඉන්දීය කණ්ඩායම වනවා.

ඊයේ තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායම නියමිත පන්දුවාර පනහේදී කඩුළු 9 ක් දැවී ලකුණු 314 ක් රැස් කළා.

රෝහිත් ශර්මා මෙවර තරගාවලියේ සිය සිව්වන ශතකය වාර්තා කරමින් ඊයේ රැස් කළ ලකුණු සංඛ්‍යාව 104 ක්. ඒ අනුව එක් ලෝක කුසලාන තරගාවලියක ශතක 4 ක් වාර්තා කරමින් කුමාර් සංගක්කාර තැබූ වාර්තාව සම කිරීමට රෝහිත් ශර්මා මෙහිදී සමත් වුණා.

ලකුණු 315 ක ජයග‍්‍රාහී ඉලක්කයක් හඹා ගිය බංග්ලාදේශ කණ්ඩායමට පන්දුවාර 48 ක් අවසානයේ සියල්ලන් දැවී රැස්කර ගත හැකි වූයේ ලකුණු 286 ක් පමණයි. මෙවර තරගාවලියේ සිව් වන අර්ධ ශතකය වාර්තා කරමින් ශකීබ් අල් හසන් ඊයේ තරගයේදී රැස් කළ ලකුණු සංඛ්‍යාව 66 ක්. පන්දු යැවීමේදී ජස්පි‍්‍රට් බුම්රා ලකුණු 55 කට කඩුළු 4 ක් බිද හෙළුවා. තරගයේ වීරයා ලෙස සම්මාන දිනාගත්තේ ශතකයක් වාර්තා කළ රෝහිත් ශර්මායි. 

ජාත්‍ය්‍යන්තර කි‍්‍රකට් කවුන්සිලය සංවිධාන කරන තරගාවලි හිදී ඉන්දීය කණ්ඩායම අඛණ්ඩව අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගත් 6 වන අවස්ථාව මෙය වනවා. බංග්ලාදේශ කණ්ඩායම මෙම තරගය පරාජයවීමත් සමග ඔවුන් අවසන් පූර්ව වටය පිළිබද තැබූ බලාපොරොත්තු බොඳව ගියා.

මේ වනවිට ඉන්දියාව සහ  ඕස්ටේ‍්‍රලියාව අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා සිටින අතර එම වටයට සුදුසුකම් ලබන සෙසු කණ්ඩායම් දෙක තීරණය වන්නේ එංගලන්තය, නවසීලන්තය සහ පාකිස්තානය අතර ඉදිරියේ පැවැත්වෙන තරගවල තීරණ අනුවයි.