Monday, May 6, 2024

General line - 0115112241

ශ්‍රී ලංකා - බංග්ලාදේශ තරගවල කාලසටහන ප‍්‍රකාශයට පත් කරයි

කසුන් කැළුම්




බංග්ලාදේශ කණ්ඩායමේ ශ‍්‍රී ලංකා තරග සංචාරයේ තරග කාලසටහන ප‍්‍රකාශයට පත් කර තිබෙනවා.

මෙම තරග සංචාරයේදී දෙරට අතර එක්දින තරග 3ක් පැවැත්වීමට නියමිතයි. එම තරග 3ම දිවා රාත‍්‍රි තරග ලෙස පැවැත්වෙන්නේ කොළඹ ආර්. පේ‍්‍රමදාස ක‍්‍රීඩාංගණයේදීයි. පළමු එක්දින තරගය ලබන 26 වැනිදාත්, දෙවන එක්දින තරගය ලබන 28 වැනිදාත් පැවැත්වෙනවා. අවසන් සහ 3 වන එක්දින තරගය පැවැත්වෙන්නේ ලබන 31 වැනිදායි.

පාස්කු ඉරිදා එල්ල වූ ත‍්‍රස්ත ප‍්‍රහාරයත් සමග මෙම තරග සංචාරයට එක්වීම සම්බන්ධයෙන් බංග්ලාදේශ ක‍්‍රිකට් බලධාරීන් දෙගඩියාවකින් පසු වුණා. ආරක්ෂක අංශ විසින් මෙරට ආරක්ෂාව තහවුරු කිරීමත් සමග මෙම තරග සංචාරයට එක්වීමටයි බංග්ලාදේශය ක‍්‍රිකට් බලධාරීන් තීරණය කර ඇත්තේ.

කෙසේ වෙතත් මෙම එක්දින තරගාවලියට එක්වන ශ‍්‍රී ලංකා සහ බංග්ලාදේශ සංචිත මෙතෙක් ප‍්‍රකාශයට පත් කර නැහැ. බොහෝ විට මෙවර ලෝක කුසලානයේදී තුන් ඉරියව්වෙන් දක්ෂතා දැක් වූ ශකීබ් අල් හසන් ශ‍්‍රී ලංකා තරග සංචාරයට එක් නොවනු ඇති බවයි වාර්තා වන්නේ.

එමෙන්ම ශ‍්‍රී ලංකාවෙන් බිහි වූ විශිෂ්ටතම පන්දු යවන්නෙකු වන ලසිත් මාලිංග සිය එක්දින දිවියේ සහභාගි වන අවසන් තරගාවලිය මෙයවනු ඇති බවද වාර්තා වනවා. 

මේ අතර ලෝක කුසලාන ක‍්‍රිකට් තරගාවලියේ පළමු අවසන් පූර්ව තරගය මැන්චෙස්ටර්හිදී අද පැවැත්වෙනවා. ඒ, ඉන්දීය කණ්ඩායම හා නවසීලන්ත කණ්ඩායම අතරයි. මෙම තරගය මෙරට වේලාවෙන් පස්වරු 3.00ට ආරම්භ වීමට නියමිතයි.