Saturday, May 4, 2024

General line - 0115112241

නව පෙරමුණේ ව්‍යවස්ථාව නිසා එජාප කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම උණුසුම්

හේමන්ත කහවලගේ/දිල්ශාන් තුෂාර/කසුන් කැලුම්




ඉදිරි ජනාධිපතිවරණයේදී එක්සත් ජාතික පක්‍ෂය ප‍්‍රමුඛ නව පෙරමුණකින් තරග වැදීමට අද රැුස් වූ එක්සත් ජාතික පක්‍ෂ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී අනුමැතිය හිමිව තිබෙනවා.

යෝජිත නව පෙරමුණ ගොඩනැගීමට අදාළ ව්‍යවස්ථා කෙටුම්පතද අද පැවති කෘත්‍යාධිකාරි මණ්ඩල රැුස්වීමට ඉදිරිපත් කෙරුණා. අරලියගහ මන්දිරයේ අද පෙරවරුවේ පැවති කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමට සාමාජිකයින් 77 දෙනාගෙන් සහභාගි වී ඇත්තේ හතලිස් තුන්දෙනෙකුට ආසන්න පිරිසක්. අද පැවති කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී මංගල සමරවීර, මලික් සමරවික‍්‍රම, අජිත් පී පෙරේරා, සුජීව සේනසිංහ, එරාන් වික‍්‍රමරත්න, දිලිප් වෙදආරච්චි යන මැති ඇමතිවරුන් පවසා ඇත්තේ ලබන 5 වනදා නව පෙරමුණ එළිදක්වන අවස්ථාවේදී ජනාධිපති අපේක්‍ෂකයාද ප‍්‍රකාශයට පත් කළ යුතු බවයි.

අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා ඇතුළු පක්ෂයේ ජ්‍යෙෂ්ඨයින් ඊට ප‍්‍රතිචාර දක්වමින් පවසා ඇත්තේ නව පෙරමුණ බිහි කිරීමෙන් පසු ජනාධිපති ධුර අපේක්ෂා නම් කරන බවයි. 

තමන් නව පෙරමුණේ ව්‍යවස්ථා කෙටුම්පතට විරුද්ධ බවද අමාත්‍ය මංගල සමරවීර ඇතුළු එම මැති ඇමතිවරුන් පිරිස අද පැවැති කෘත්‍යාධිකාරී රැස්වීමේදී සදහන් කර තිබෙනවා. එහි ලේකම් ධුරයට එක්සත් ජාතික පක්‍ෂයේ නියෝජිතයෙකු පත් කළ යුතු බවයි එම මැතිඇමතිවරුන් පිරිස මෙහිදි යෝජනා කර ඇත්තේ. 

නව පෙරමුණේ ලේකම් ධුරයට අමාත්‍ය රාජිත සේනාරත්න පත් කරන්නේ නම් ඊට විරෝධය දක්වන බවද මංගල සමරවීර අමාත්‍යවරයා ප‍්‍රමුඛ එම මැතිඇමතිවරුන් පිරිස ප‍්‍රකාශ කර තිබෙනවා. මෙහිදී දෙපාර්ශ්වය අතර උණුසුම් සංවාදයක්ද සිදුවූ අතර අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා  විසින් එහිදී කැබිනට් නොවන අමාත්‍යවරුන් වන අජිත් පී පෙරේරාට සහ සුජීව සේනසිංහට අවවාද කර ඇති බවයි දේශපාලන ආරංචි පැවසුවේ.

යෝජිත නව පෙරමුණේ ව්‍යවස්ථාව සම්බන්ධයෙන් සංශෝධන සිදුකිරීමට අවශ්‍ය නම් ඒවා එක්සත් ජාතික පක්‍ෂ සභාපති අමාත්‍ය කබීර් හෂීම් වෙත ලබාදෙන ලෙසද අග‍්‍රාමාත්‍යවරයා මෙහිදී සදහන් කර තිබෙනවා.

මේ අතර අද පැවති කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමෙන් පසු පක්‍ෂ මහලේකම් අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මාධ්‍ය වෙත මෙලෙස අදහස් පළ කළා.