Wednesday, May 8, 2024

General line - 0115112241

එක්වීමට සූදානම් වූ එජාපය ප්‍රමුඛ සෙසු පක්ෂ ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කරන්න සැරසේ

හේමන්ත කහවලගේ/දිල්ශාන් තුෂාර




යෝජිත නව පෙරමුණ සමග එක්වීමට සූදානම් වන එක්සත් ජාතික පක්ෂය ප‍්‍රමුඛ සෙසු පක්ෂවල නායකයින් හෙට (05) දිනයේ ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කිරීමට නියමිතව තිබෙනවා.

ඒ, අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාගේ ප‍්‍රධානත්වයෙන් පක්ෂ නායකයින් සමග ඊයේ (03) රාති‍්‍රයේ අරලියගහ මන්දිරයේ පැවැති සාකච්ඡාවකින් අනතුරුව එළඹුණු තීරණයකට අනුවයි.

නව පෙරමුණේ ව්‍යවස්ථාව සම්බන්ධයෙන් මතුව ඇති අර්බුදකාරී තත්ත්වය හේතුවෙන් හෙට පැවැත්වීමට නියමිතව තිබූ එම පෙරමුණේ ගිවිසුම් අත්සන් කිරීම ද දින නියමයක් නොමැතිව කල් දැමීමට තීරණය කෙරුණා.

නව පෙරමුණේ මහ ලේකම්ධූරය අමාත්‍ය රාජිත සේනාරත්නට ලබා දීම සම්බන්ධයෙන් ඉදිරිපත් වූ යෝජනාවට එක්සත් ජාතික පක්ෂයේ මන්තී‍්‍රවරුන් රැසකගේ විරෝධය එල්ල වී තිබෙනවා.  පිළිබඳව ද ඊයේ පැවැති පක්ෂ නායක රැස්වීමේදී සාකච්ඡා වී ඇති බවයි දේශපාලන ආරංචි පැවසුවේ.

නව පෙරමුණේ මහ ලේකම්ධූරය එක්සත් ජාතික පක්ෂයට ලබා දීම සම්බන්ධයෙන් ද මේ වනවිට අවධානය යොමුවී ඇති බවයි වාර්තා වන්නේ. 

මේ අතර අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා සහ එක්සත් ජාතික පක්ෂයේ පසුපෙළ මන්තී‍්‍රවරුන් අතර ද ඊයේ රාති‍්‍රයේ අරලියගහ මන්දිරයේදී සාකච්ඡාවක් පැවැත්වුණා.