Sunday, April 28, 2024

General line - 0115112241

සහරාන්ගේ කල්ලියේ කෝටි 130 කට අධික මුදලක් CIDය සොයා ගනියි 

දිනුක් හේවාවිතාරණ




පාස්කු ඉරිදා දින මරාගෙන මැරෙන බෝම්බ ප‍්‍රහාර මාලාව සිදුකළ ජාතික තව්හිත් ජමාත් ත්‍රස්ත සංවිධානයේ නායක මොහොමඩ් සහරාන්ගේ ආධාරකරුවන් සතුව තිබු රුපියල් කෝටි 134 කට ආසන්න මුදල් ඇතුලත් නවතම බැංකු ගිණුම් රැසක් සොයා ගැනීමට විමර්ශන වලදී හැකිවූ බවත් අධිකරණ ක්‍රියා මාර්ග ගැනීමෙන් පසු එම මුදල් අත්හිටුවීමට අවශ්‍ය පියවර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ගත් බව එහි අධ්‍යක්ෂක ජේෂ්ඨ පොලිස් අධිකාරී ශනි අබේසේකර සඳහන් කර සිටිනවා.

පසුගිය මාස දෙකක කාලය තුලදී ලද තොරතුරු මත සිදුකරන ලද විමර්ශන වලදී සොයා ගනු ලැබූ තවත් රුපියල් බිලියනයක පමණ වටිනාකමකින් යුත් දේපළ රාජසන්තක කිරීමට අවශ්‍ය කටයුතු සිදුකර ඇති බවයි අද (08) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂකවරයා සඳහන් කර සිටියේ.

රාජසන්තක කිරීමට කටයුතු කළ දේපළ අතර වාහන, රන් භාණ්ඩ, නිවාස හා දේපළ ද ඇතුලත් බවයි ජේෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර වැඩිදුරටත් සඳහන් කර සිටියේ.

පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයෙන් පසුව සිදුකරනු ලැබූ විමර්ශන වලදී ඊට සම්බන්ධ හා ආධාර උපකාර ලබාදීමේ චෝදනාව සම්බන්ධයෙන් කාන්තාවන් ඇතුළු සැකකරුවන් 63 දෙනෙක් අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන රැඳවුම් නියෝග යටතේ තවදුරටත් ප්‍රශ්න කරමින් සිටින බවයි අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂකවරයා සඳහන් කර සිටියා.