Friday, May 10, 2024

General line - 0115112241

පාස්කු ප්‍රහාරයේදී ශ්‍රී ලංකා ආරක්ෂක අංශවල සේවය ප්‍රශංසනීයයි : ඉන්ටර්පෝල් මහලේකම් කියයි




පාස්කු ප්‍රහාරයට සම්බන්ධ සැකකරුවන් කඩිනමින් අත්අඩංගුවට ගැනීම ඇතුළු එම සිදුවීම හමුවේ ගත් සාර්ථක පියවර සම්බන්ධයෙන් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා, ආරක්ෂක අමාත්‍යාංශය, ත්‍රිවිධ හමුදාව සහ බුද්ධි සේවා මෙන්ම ශ්‍රී ලංකා පොලිසිය ඉටුකළ කාර්ය භාර්ය ඉතා ප්‍රශංසනීය බව ඉන්ටර්පෝල් හී මහලේකම් ජර්ගන් ස්ටොක් ප්‍රකාශ කර සිටිනවා.

සංචාරයක් සඳහා දිවයිනට පැමිණ සිටින ඉන්ටර්පෝල් මහලේකම්වරයා විසින් ජනාධිපතිවරයාට විශේෂ සිහිවටනයක් පිරිනමනු ලැබුවා. ඒ ඔහු ජනාධිපති ලේකම් කාර්යාලයේදී ජනාධිපතිවරයා අද (27) හමුවූ අවස්ථාවේදී.

පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයෙන් පසුව සිදුකරනු ලබන විමර්ශන කටයුතු සඳහා සහය ලබා දෙන ලෙස ඉන්ටර්පෝල් වෙතින් කරන ලද ඉල්ලීමට කඩිනම් ප්‍රතිචාර දැක්වීම පිළිබඳව මෙහිදී මහලේකම්වරයා වෙත ජනාධිපතිවරයා ස්තුතිය පළකල අතර අපරාධකරුවන්ට එරෙහිව සටන් කිරීම සඳහා ලබාදුන් සහය සම්බන්ධයෙන් ඇගයිමකට ලක් කර සිටියා.

මෙහිදී ඉන්ටර්පෝල් හි මහලේකම්වරයා ප්‍රකාශ කර සිටියේ ශ්‍රී ලංකා පොලිසිය සහ බුද්ධි අංශ නිලධාරීන් ඉහළ වෘත්තිමය ස්වභාවයකින් ක්‍රියාකරන බවත් සිය විශේෂඥයින් ඒ සඳහා අවශ්‍ය පුර්ණ සහයෝගය ඔවුන්ගෙන් හිමිවූ බවයි.

විදේශ රටවල සැඟවී සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සහ මුල්‍ය අපරාධකරුවන් පිටුවහල් කිරීම ඇතුළු මෙහෙයුම් සඳහා තවදුරටත් සහය වන ලෙස ජනාධිපතිවරයා මෙහිදී ඉන්ටර්පෝල් මහලේකම්වරයා ගෙන් ඉල්ලා සිටිය අතර ඒ සඳහා අවශ්‍ය පුර්ණ සහය ලබාදෙන බව ඔහු මෙහිදී ජනාධිපතිවරයාට පොරොන්දුවී තිබෙනවා.

එමෙන්ම මත්ද්‍රව්‍ය සොයා ගැනීමේ නව තාක්ෂණික උපකරන ලබා ගැනීම, නිතිය බලගන්වන නිලධාරීන්ට අවශ්‍ය විශේෂඥ දැනුම ලබාදීම ආදී කටයුතු සඳහා ඉදිරියේදී ගිවිසුමකට එළැඹීම පිළිබඳව මෙහිදී අවධානයට යොමු වූ බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කර සිටියේ.