Friday, May 10, 2024

General line - 0115112241

ඇමසන් වනයට මුවාවී ප්‍රංශ සහ බ්‍රසීල ජනපතිවරුන් ඇවිලෙයි

පවිත්‍රා මදුහර්ෂනි - විදෙස් මාධ්‍ය ඇසුරෙන්




ගිනිගෙන දැවෙන ඇමසන් වනාන්තරය වෙනුවෙන් ජී 7 නායකයින් ලබා දීමට සූදානම් වූ මූල්‍ය ප්‍රතිපාදන ප්‍රතික්ෂේප කිරීම පිළිබඳ බ්‍රසීල ජනාධිපතිවරයා වෙත චෝදනා එල්ල වෙමින් තිබෙනවා. විදෙස් වාර්තා පවසන්නේ බ්‍රසීල ජනාධිපති ජෙයාර් බොල්සනාරෝ සහ ප්‍රංශ ජනාධිපති එම්මානුවෙල් මැක්රන් අතර කලක පටන් පවතින මතභේදාත්මක තත්ත්වයක් මත බ්‍රසීල ජනාධිපතිවරයා මෙම මූල්‍ය ප්‍රතිපාදන ප්‍රතික්ෂේප කර ඇති බවයි. 

විදෙස් වාර්තාවන්ට අනුව ප්‍රංශ ජනාධිපතිවරයාගේ බිරිඳ පදනම් කරගනිමින් බ්‍රසීල ජනාධිපතිවරයා සිදු කළ ප්‍රකාශයක් නිසා මීට පෙර ජනාධිපතිවරුන් දෙදෙනා අතර මතභේදයක් හට ගෙන තිබෙනවා. පසුව ප්‍රංශයේ නොටර්ඩෑම් දේවස්ථානය ගිනි ගැනීම සම්බන්ධයෙන් ද බ්‍රසීලය, ප්‍රංශ ජනාධිපතිවරයා වෙත ප්‍රසිද්ධියේ චෝදනා එල්ල කර තිබුණා. ඊට ප්‍රතිචාර දක්වමින් වන විනාශයට හා පතල කැනීම් සඳහා අනුබල දෙන බවටයි ප්‍රංශ ජනාධිපතිවරයා දිගින් දිගටම බ්‍රසීල ජනාධිපතිවරයා හට චෝදනා එල්ල කළේ. 

ජනාධිපතිවරුන් දෙපළ අතර පවතින මතභේදාත්මක තත්ත්වය මෙලෙස වර්ධනය වෙමින් තිබූ පසුබිමක ඇමසන් වනාන්තරයේ ව්‍යාප්ත වී ඇති ගිනිගැනීම් මැඩපැවැත්වීම සඳහා බ්‍රසීලයට අමෙරිකානු ඩොලර් මිලියන 22 ක ප්‍රතිපාදන ලබා දීමට ජී 7 නායකයින් ඊයේ එකවුණා. ඒ බව ප්‍රකාශයට පත් කළේ ප්‍රංශ ජනාධිපති එම්මානුවෙල් මැක්රන් විසින්. 

ප්‍රංශ ජනාධිපතිවරයාගේ එම ප්‍රකාශයෙන් කෝපයට පත් බ්‍රසීල ජනාධිපතිවරයා ලෝක නායකයින්ගේ ප්‍රතිපාදන ප්‍රතික්ෂේප කළ අතර ඇමසන් වනය තුළ ඇවිලෙන ගින්න පාලනය කිරීමට බ්‍රසීලයට හැකි බව ද පවසා සිටියා. එහෙත්, මේවනතෙක් ගිනි ගැනීම් පාලනය කිරීමට බ්‍රසීලයට හැකි වී නැහැ. නාසා ආයතනය විසින් නිකුත් කර ඇති නවතම චන්ද්‍රිකා ඡායාරූප පෙන්වා දෙන පරිදි ඇමසන් වනාන්තරය තුළ තවදුරටත් ගිනි ගැනීම් ව්‍යාප්ත වෙමින් තිබෙනවා.