Saturday, May 4, 2024

General line - 0115112241

අපරාධකරුවන් හඳුනා ගැනීමට නව ක්‍රමයක්




අපරාධවලට සම්බන්ධ සැකකරුවන් හඳුනා ගැනීම සඳහා මුහුණු හඳුනා ගැනීමේ තාක්ෂණය යොදා ගැනීමට අදාළ කටයුතු මේ වන විට සකස් කරමින් තිබෙන බව පොලිස් දෙපාර්තමේන්තුව සඳහන් කර සිටිනවා.

ශ්‍රී ලංකා පොලීසිය, ආගමන විගමන දෙපාර්තමේන්තුව, පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව සහ ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය එක්ව දත්ත පද්ධති සම්බන්ධ කර ගනිමින් මෙම පොලිස් තොරතුරු සන්නිවේදන පද්ධතිය ස්ථාපිත කිරීමට පියවර ගන්නා බව සඳහන් කෙරුනේ.

ඒ අනුව අපරාධවලට සම්බන්ධ වූවන්ගේ සහ නීතියේ රැහැනින් පලායන පුද්ගලයන්ගේ තොරතුරු එම පද්ධතියට අතුළත් කෙරෙන අතර ඕනෑම පොලිස් නිලධාරියෙකුට ඕනෑම ස්ථානයක සිට ස්මාර්ට් ජංගම දුරකථනයක් මඟින් එම පද්ධතිය හා සම්බන්ධ වී අපරාධකරු හඳුනාගත හැකි බව ද අනාවරණය කෙරුණා.

ඒ මඟින් අපරාධකරුවන් කඩිනමින් නීතියේ රැහැනට හසුකර ගැනීමට මෙන්ම රථ වාහන වැරදි නිරික්ෂණය කිරීමට ද නියමිත බව සඳහන්.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරින් අතර අද (29) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡවක දී මෙම කරුණු අනාවරණය විය.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පොලිස් දෙපාර්තමේන්තුව තමන් යටතට පවරා ගැනීමෙන් අනතුරුව එහි මානව සම්පත් මෙන්ම භෞතික සම්පත් සංවර්ධනය කරමින් ගුණාත්මක සහ දියුණු පොලිස් සේවාවක් ස්ථාපිත කිරීමට පියවර රැසක් ගත් අතර ඒ යටතේ මෙම නව වැඩසටහන ද ක්‍රියාත්මක ය.

මේ අතර දුම්රිය හරස්මාර්ගවල අනතුරු අවම කර ගැනීම සඳහා ක්‍රියාත්මක ක්‍රමවේදය පිළිබඳව ද මෙහිදී සාකච්ඡාවට බදුන්ව තිබෙනවා.

මෙරට දැනට ආරක්ෂක ගේට්ටු සහිත දුම්රිය හරස් මාර්ග 280ක් පමණ පවතින බවත්, තවත් දුම්රිය මාර්ග 344ක පමණ ඛෙල් ඇන්ඩ් ලයිට් ක්‍රමය ක්‍රියාත්මක වන බවත් සඳහන් කෙරුණු අතර ඉතිරි දුම්රිය මාර්ග 539 වෙනුවෙන් කඩිනමින් ඛෙල් ඇන්ඩ් ලයිට් ක්‍රමය ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිඛෙන බව ද සඳහන් කෙරිණි.