Sunday, May 5, 2024

General line - 0115112241

වැලිකඩ බන්ධනාගාරයේ සිරකරුවන් ඝාතන සිද්ධියේ නඩුව විභාගයට දින නියම කෙරේ 

අධිකරණ වාර්තාකරු




2012 වසරේදී වැලිකඩ බන්ධනාගාරයේ සිරකරුවන් වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට අදාලව පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ පොලිස් පරීක්ෂක නියෝමාල් රංගජීව සහ හිටපු බන්ධනාගාර අධිකාරි එමිල් රංජන් ඇතුළු තිදෙනකුට එරෙහිව ගොනු කර ඇති නඩුව ඔක්තොම්බර් මස14 දා සිට විභාගයට ගැනීමට කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණය අද (30) නියෝග කළා.

ඒ අනුව නඩුවේ සාක්ෂිකරුවන් සිව්දෙනෙකුට මීලඟ දින අධිකරණයේ පෙනී සිටීමට සිතාසි නිකුත් කරනු ලැබුවා. නඩුවේ තෙවන විත්තිකරු ඉන්දික සම්පත් යන අය නොමැතිව නඩුව පවත්වාගෙන යාමට අධිකරණය තීරණය කරනු ලැබුවේ.

මෙම සිද්ධියට අදාල විත්තිකරුවන් ලෙසට පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ පොලිස් පරීක්ෂක නියෝමාල් රංගජීව, හිටපු බන්ධනාගාර අධිකාරි එමිල් රංජන් සහ එවකට බන්ධනාගාර බුද්ධි ඒකකයට අනියුක්තව සේවය කල ඉන්දික සම්පත් යන අය නම් කර තිබෙනවා.

මෙම නඩුව මහාධිකරන විනිසුරු ගිහාන් කුලතුංග (සභාපති), විනිසුරු ප්‍රදීප් හෙට්ටිආරච්චි සහ විනිසුරු මංජුල තිලකරත්න යන ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල ඉදිරියේ අද කැදවන ලැබුවා.

වැලිකඩ බන්ධනාගාරය තුළ පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් සිදුකළ හදිසි මෙහෙයුමක් අතරවාරයේ රැඳවියන් හා පොලීසිය අතර ගැටුමක් ඇති  වූ අතර එයින් රැඳවියන් 27 දෙනෙකු ඝාතනයට ලක්විය.

මෙම සිද්ධියේ බරපතළකම සහ ජාත්‍යන්තර අවධානය සලකා ඊට අදාල නඩුව ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ විභාගයට ගැනීමට නීතිපතිවරයා විසින් අගවිනිසුරුවරයාගෙන් ඉල්ලීමක් කරනු ලැබුවා.