Sunday, May 5, 2024

General line - 0115112241

පාර්ලිමේන්තු මන්ත්‍රි වියාලේන්ද්‍රන් ඇතුළු පිරිසට ඔක්තෝම්බර් 04 අධිකරණය හමුවේ පෙනී ඉන්නැයි නියෝග

ජව්ෆර් ඛාන් - මඩකලපුව




දෙමල ජාතික සන්ධානයේ  මඩකලපුව දිසා පාර්ලිමේන්තු මන්ත්‍රී සතාසිවම වියාලේන්ද්‍රන්  ඇතුළු පස් දෙනෙකුට නැවත ඔක්තෝම්බර මස 04 වෙනිදා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස මඩකලපුව මහේස්ත්‍රාත් ඒ.සි.රිස්වාන් මහතා අද (30) නියෝග කර සිටියා.

පසුගිය අඟහරුවාදා මඩකලපුව නගරයේ දී පාර්ලිමේන්තු මන්ත්‍රි එස්. වියාලේන්ද්‍රන් ගේ මුලිකත්වයෙන් සංවිධානය කරන ලද උද්ඝෝෂණයක් නිසා මහජනතාව අපහසුතාවයට පත් කිරීමේ හේතු මත සිදුකරන ලද දැනුම් දීමක් අනුව ඔහු ඇතුළු පස් දෙනෙකු අධිකරණය හමුවේ පෙනී සිටියා. 

එහිදී මහේස්ත්‍රාත්වරයා නියෝග කලේ මන්ත්‍රිවරයා ඇතුළු පිරිසට මඩකලපුව පොලිසියට ගොස් ප්‍රකාශයක් ලබා දෙන ලෙසයි.

ඉකුත් අප්‍රේල් මස 21 වෙනිදා එල්ලවූ පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයේදී මඩකලපුව සියෝන් දේවස්ථානයට ප්‍රහාර එල්ල කළ මරාගෙන මැරෙන බෝම්බකරුගේ හිස කොටස අධිකරණ නියෝග මත මඩකලපුව කල්ලියනකාඩු  සුසාන භුමියේ භූමදානය කිරීමට විරෝධය පළකරමින් පාර්ලිමේන්තු මන්ත්‍රි එස්. වියාලේන්ද්‍රන් ගේ මුලිකත්වයෙන් උද්ඝෝෂණයක් සිදුකරනු ලැබුවා.

පසුව එම තත්ත්වය පාලනය කිරීමට පොලිසිය කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කරනු ලැබූ අතර එහිදී උද්ඝෝෂකයින් සිව්දෙනෙක් තුවාල ලැබුවා.