Sunday, May 5, 2024

General line - 0115112241

රනිල් ජනපති සටනට එනවාද? රනිල් - සජිත් පාර්ශව දෙකෙන් පරස්පර අදහස්.

සමන්ත කුමාර/සජිත් තිලකරත්න




එළඹෙන ජනාධිපතිවරණයට තමා ඉදිරිපත් වීමට අදහස් කරන බවට අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා ප‍්‍රකාශ කර ඇතැයි පළ වන වාර්තා සම්බන්ධයෙන් මේ වනවිට විවිධ අදහස් පළ වනවා. එක්සත් ජාතික පක්‍ෂයේ ජේ්‍යෂ්ඨයන් සමග ඊයේ පැවති සාකච්ඡාවේදි අග‍්‍රාමාත්‍යවරයා එම ප‍්‍රකාශය සිදුකර ඇති බවටයි වාර්තා පළ වුණේ. 

ඒ, පිළිබද නෙත් නිවුස් කළ කරුණු විමසීමකදී අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර කියාසිටියේ එය අසත්‍ය තොරතුරක් බවයි. එවැනි කිසිදු කරුණක් අග‍්‍රාමාත්‍යවරයා එම සාකච්ඡාවේදි ප‍්‍රකාශ නොකළ බවද අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර නෙත් නිවුස් වෙත කියාසිටියා. 

කෙසේවෙතත් නෙත් නිවුස් කළ කරුණු විමසීමකදී අමාත්‍ය ලක්‍ෂ්මන් කිරිඇල්ල කියාසිටියේ අග‍්‍රාමාත්‍යවරයා පැහැදිලිවම ඊයේ පැවති රැස්වීමේදී එවැනි ප‍්‍රකාශයක් සිදුකළ බවයි. පක්‍ෂයේ නායකයා ලෙස තමාට ජනාධිපතිවරණයට ඉදිරිපත්වීමට අයිතියක් ඇති බවත් ඒ සදහා කෘත්‍යාධිකාරී මණ්ඩලයේදී අනුමැතිය ලබාගැනීමට හැකි යැයි තමන් විශ්වාස කරන බවත් අග‍්‍රාමාත්‍යවරයා එහිදී ප‍්‍රකාශ කළ බව අමාත්‍ය ලක්‍ෂ්මන් කිරිඇල්ල පැවසුවා. 

ඊට විරුද්ධ අදහසක් ඇත්නම් කෘත්‍යාධිකාරී මණ්ඩලයේදී එය අභියෝගයට ලක් කරන ලෙසද අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා එජාප ජේ්‍යෂ්ඨයන් හමුවේ ප‍්‍රකාශ කළ බව අමාත්‍ය ලක්‍ෂ්මන් කිරිඇල්ල නෙත් නිවුස් වෙත කියාසිිටියා.