Thursday, May 16, 2024

General line - 0115112241

මැතිවරණ කොමිසම සහ පොලිසිය ඡන්දෙට සූදානම් වෙයි




ඉදිරි මැතිවරණ ඉලක්ක කර ගනිමින් මැතිවරණ කොමිෂන් සභාව සහ පොලිස් මූලස්ථානය මේ වනවිටත් සිය කටයුතු ආරම්භ කර තිබෙනවා. ඉදිරි ඡන්ද විමසීම පිළිබඳ මාධ්‍යවේදීන් දැනුවත් කිරීමේ සාකච්ඡාවක් මැතිවරණ කාර්යාලයේදී අද (09) දිනයේ පැවැත්වෙන්නේ ඒ අනුවයි.

එමෙන්ම නිදහස් හා සාධාරණ ඡන්ද විමසීමක් පැවැත්වීම සඳහා අවශ්‍ය යහපත් වාතාවරණයක් පවත්වා ගැනීමට මාධ්‍ය ආයතනවල සහය ලබාගැනීමේ කි‍්‍රයාමාර්ග සම්බන්ධයෙන් ද තවත් සාකච්ඡාවක් පැවැත්වෙනවා.

ඒ, මැතිවරණ කොමිසමේ නිලධාරීන් හා විද්‍යුත් මාධ්‍ය ප‍්‍රධානීන් අතරයි. මැතිවරණ කාලසීමාව තුළ සමාජ මාධ්‍යජාල හරහා සිදුකරන වෛරී ප‍්‍රකාශන නියාමනයන් සම්බන්ධයෙන් ගතහැකි සහ ගතයුතු කි‍්‍රයාමාර්ග පිළිබඳව ද මැතිවරණ කොමිසමේ අවධානය යොමුව තිබෙනවා. 

මේ අතර ඇල්පිටිය ප‍්‍රාදේශීය සභාවේ ඡන්ද විමසීමට අදාළව විශේෂ පොලිස් මැදිරි ස්ථාපිත කිරීමට පොලීසිය දැනටමත් කටයුතු යොදා අවසන්. ඡන්ද විමසීම මධ්‍යස්ථාන 47 කදී සිදුකිරීමට නියමිතයි. එම මධ්‍යස්ථාන ස්ථාපිත කිරීමට නියමිතව ඇත්තේ ඇල්පිටිය සහ පිටිගල යන පොලිස් වසම් තුළයි. පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර පැවසුවේ සහකාර පොලිස් අධිකාරීවරයෙකුගේ අධීක්ෂණය යටතේ ඡන්ද විමසීම අවසන් වී නැවත දැනුම්දෙන තුරු මෙම මෙහෙයුම් මැදිරිය කි‍්‍රයාත්මක බවයි. 

ඇල්පිටිය ප‍්‍රාදේශීය සභාවේ පළාත් පාලන ඡන්ද විමසීම ඔක්තෝම්බර් 11 වැනිදා පැවැත්වීමට නියමිතයි. ඒ සඳහා මැතිවරණ භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලෙස ජගත් අබේසිරි ගුණවර්ධන පත්කර තිබෙනවා. ඒ, ජාතික පොලිස් කොමිසමේ ද අනුමැතිය පරිදියි.