Thursday, May 2, 2024

General line - 0115112241

IS නායකයා ඉලක්ක කරගත් මෙහෙයුමේදි තුවාල ලැබු අයෙකුගේ නම හෙළි නොකිරිමේ තීරණයක්




මිට දින දෙකකට පෙර වයඹ දිග සිරියාවේ ඉඩ්ලිබ් ප්‍රාන්තයේදි ඉස්ලාමිය රාජ්‍ය සංවිධානය හෙවත් ISIS සංවිධානයේ නායකයා ඉලක්ක කර ගනිමින් සිදුකල මෙහෙයුමේදි ඊට දායකත්වය දුන් හමුදා නිල සුනඛයෙක් බරපතල තුවාල ලබා ඇති බව එරට ඒකාබද්ධ මෙහෙයුම් ප්‍රධානි ජෙනරාල් මාර්ක් මිලී ප්‍රකාශ කර සිටිනවා.

පෙන්ටගනයේදී මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු ප්‍රකාශ කර ඇත්තේ මෙම යුධ හමුදා නිල සුනඛයා IS නායකයා පසුපස ලුහුබදිමින් සිටියදී මෙලෙස බරපතල තුවාල ලැබු බවයි.

එම නිල සුනඛයා සම්බන්ධයෙන් වාර්තාකරුවන් විමසු අවස්ථාවලදි ජෙනරාල්වරයා ප්‍රකාශ කර සිටියේ තුවාල ලබා සිටින හමුදා නිල සුනඛයා සම්බන්ධයෙන් වන තොරතුරු "අතිශය රහසිගත" බවත් අවම වශයෙන් ඔහුගේ නමවත් හෙළි නොකිරිමට තිරණය කළ බවයි.

මේ අතර මරාගෙන මැරෙන බෝම්බ කට්ටලයක් පුපුරුවා ගනිමින් මිය ගිය IS නායක අබු බකර් අල්-බග්ඩාඩි ගේ සිරූරේ කොටස් අමෙරිකානු හමුදාවන් විසින් වැඩිදුර විමර්ශනයන් සදහා ආරක්ෂිත ස්ථානයකට රැගන ආ බවද මෙහිදි හමුදා ප්‍රධානියා සදහන් කර සිටියා.

" DNA පරික්ෂණයෙන් අනතුරුව IS නායකයාගේ සිරූර හදුනා ගනු ලැබුවා. ඉන් අනතුරුව ඔහුගේ සිරූරේ කොටස් නියමිත ක්‍රමවේදයන්ට අනුව අවසන් කටයුතු සිදුකිරිමට පියවර ගත්තා" යැයි ජෙනරාල් මාර්ක් මිලී කියා සිටියා.

IS නායකයා ජිවත්ව සිටි ඉඩ්ලිබ් ග්‍රාමයේ පිහිටි නිවසේ සිටි පුද්ගලයින් දෙදෙනෙක් අමෙරිකානු විශේෂ බලකාය විසින් අත් අඩංගුවට ගෙන ඇති බවත්, ඔවුන්ව මේ වන විට ආරක්ෂිත ස්ථානයක රදවා සිටින බවයි පෙන්ටගනය සදහන් කරන්නේ.

මේ අතර IS නායකයාට එල්ල කරනු ලැබු ප්‍රහාරයේ විඩියෝවක් සංස්කරණය කිරිමේන් අනතුරුව ඉදිරියේදී නිකුත් කිරිමට පියවර ගන්නා බවයි ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් වාර්තාකරුවන්ට ප්‍රකාශ කර සිටියේ.