Thursday, May 2, 2024

General line - 0115112241

IS නායකයාගේ ඉරණම විසදු අපුරු "බුද්ධි මෙහෙයුම" (PHOTOS)




සිරියානු කුර්ඩි රහස් නියෝජිතයෙකු විසින් අමෙරිකාව විසින් පසුගිය ඉරිදා සිදුකළ මෙහෙයුමට පෙර DNA හඳුනා ගැනීම සඳහා ISIS ත්‍රස්ත සංවිධානයේ නායක අබු බකර් අල්-බැග්ඩාඩිගේ යට ඇඳුම් යුගලයක් තමන් සතු කර ගැනීමට සමත්වූ බව ජේෂ්ඨ කුර්දි නිලධාරියෙක් ප්‍රකාශ කර සිටිනවා.

කුර්දිවරුන් ප්‍රමුඛ සිරියානු ප්‍රජාතන්ත්‍රවාදී බලකායේ ජේෂ්ඨ නිලධාරියෙකු වන Polat Can විසින් සිය හමුදාව අමෙරිකාව සමග සිදුකළ බුද්ධි මෙහෙයුමේ සවිස්තරාත්මක විස්තරයක් සිය ට්විටර් ගිණුම හරහා ප්‍රසිද්ධ කර තිබෙනවා.

" පසුගිය මැයි මස 15 වෙනිදා සිට IS නායක අබු බකර් අල්-බැග්ඩාඩි සොයා ගැනීමට සහ ඔහුව සමීපව නිරීක්ෂණය කිරීම සඳහා සිය කුර්දි රහස් නියෝජිතයින් සහ අමෙරිකාවේ මධ්‍යම බුද්ධි ඒකකය හෙවත් CIA සංවිධානය කටයුතු ආරම්භ කළා. IS නායකයා සැම විටම ඔහුගේ නිවාස වෙනස් කිරීමට කටයුතු කළා. කෙසේ හෝ අපේ රහස් නියෝජිතයෙකු අල්-බැග්ඩාඩිගේ සමීපයට යාමට සමත්වුනා. මේ සිටින්නේ ඔහුමද කියා අපිට සියයට සියක් නිවැරදිව තහවුරු කර ගැනීමට අවශ්‍ය වුනා. අපේ නියෝජිතයා සමත් වුනා ඔහුගේ යට ඇඳුම් යුගලයක් සොරකම් කරන්න. ඒ හරහා සිදුකළ DNA පරීක්ෂණයෙන් අප ඇතුළු CIA බුද්ධි අංශ තහවුරු කර ගත්තා මේ සිටින්නේ අල්-බැග්ඩාඩි කියලා" කුර්දි ජේෂ්ඨ නිලධාරියා සිය ට්විටර් ගිණුම හරහා විස්තර කර සිටියා.

"වයඹ දිග ඉඩ්ලිබ් හිදී අමෙරිකානු විශේෂ බලකාය විසින් පසුගිය ඉරිදා අළුයම් කාලයේදී සිදුකළ මෙහෙයුම සාර්ථක වුයේ කුර්දිවරුන් ප්‍රමුඛ සිරියානු ප්‍රජාතන්ත්‍රවාදී බලකායේ බුද්ධි අංශවල අසීමිත කැපවීම හේතුවෙන්. මෙම ප්‍රහාරය මිට සාර්ථකව අවසන් කර ගැනීමට අපට හැකියාව තිබුණා. නමුත් සිරියාවේ සිටි අපගේ භට පිරිස් ඉලක්ක කර ගෙන තුර්කිය විසින් ඉකුත් ඔක්තෝම්බර් 09 වෙනිදා ආරම්භ කළ ආක්‍රමණය නිසා එය ප්‍රමාද වුවා" කුර්දි නිලධාරියා ප්‍රකාශ කර සිටියා.

" අල්-බැග්ඩාඩි සැඟවී සිටින නිවසේ පිහිටීම දැක්වෙන ඛණ්ඩාංක ලබාදීම, අමෙරිකානු හෙලිකොප්ටර් යානා ගොඩබැස්වීය යුතු භුමි ප්‍රදේශයන් ඇතුළු මෙම මෙහෙයුම සාර්ථකව අවසන් කර ගැනීම සඳහා අවශ්‍ය සහය අවසන් මොහොත දක්වාම ලබා දීමට අපගේ රහස් ඔත්තුකරුවන් කටයුතු කළා" යැයි කුර්දිවරුන් ප්‍රමුඛ සිරියානු ප්‍රජාතන්ත්‍රවාදී බලකායේ ජේෂ්ඨ නිලධාරියෙකු වන Polat Can සඳහන් කර සිටියා.