Saturday, May 4, 2024

General line - 0115112241

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් සහ නියෝජ්‍ය පොලිස්පතිවරුන් ඇතුළු පොලිසියේ 60කට ස්ථාන මාරු




ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන්, නියෝජ්‍ය පොලිස්පතිවරුන්, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරුන්, පොලිස් අධිකාරීවරුන්, සහකාර පොලිස් අධිකාරීවරුන් සහ පොලිස් ස්ථානාධිපතිවරුන් 60කට වැඩි පිරිසකට ස්ථානමාරු සහ නව පත්වීම් ලබාදීමට ජාතික පොලිස් කොමිෂන් සභාවේ අනුමැතිය ලබා දී තිබෙනවා. ඊයේ (05) රැස්වූ ජාතික පොලිස් කොමිෂන් සභාව ඉදිරිපත් කර තිබූ අභියාචනාද සැළකිල්ලට ගෙන මෙම අනුමැතීන් ලබා දී ඇති බවයි නෙත් නිවුස් වෙත වාර්තා වුණේ. 

බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිව සිටි ජගත් අබේසිරි ගුණවර්ධන පොලිස් සහයක සේවා භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලෙස ස්ථානමාරු කර තිබෙනවා. පුරප්පාඩු වූ බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ධූරයේ වැඩ බැලීම සඳහා පත් කර ඇත්තේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්. නැගෙනහිර පළතේ වැඩ බැලීම සඳහා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායක පත් කර තිබෙනවා.

ස්ථානමාරුවීම් ලද නියෝජ්‍ය පොලිස්පතිවරුන් වන්නේ ඩබ්ලිව් එස් ඊ ජයසුන්දර, කේ වී ඩී ඒ ජේ කරවිට, ආර් එල් කොඩිතුවක්කු සහ එල් එච් කේ ඩබ්ලිව් කේ සිල්වා යන අයයි. 

නියෝජ්‍ය පොලිස්පති ඩබ්ලිව් එස් ඊ ජයසුන්දර බදුල්ල දිසාවේ සිට බස්නාහිර පළාත උතුර දිසාවට ස්ථානමාරු කර තිබෙනවා. මොණරාගල දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති කේ වී ඩී ඒ ජේ කරවිට ඊට අමතරව බදුල්ල දිසාවේ රාජකාරී ආවරණය කිරීමටද අනුයුක්ත කර ඇති බවයි නෙත් නිවුස් වෙත වාර්තා වුණේ.

නියෝජ්‍ය පොලිස්පති ආර් එල් කොඩිතුවක්කු පොලිස් සුභසාධන දිසාවේ සිට පොලිස් මූලස්ථාන දිසාව වෙත ස්ථානමාරු කර තිබෙනවා. පොලිස් ක්ෂේත්‍ර බලකා මූලස්ථාන දිසාවට අනුයුක්තව සිටින නියෝජ්‍ය පොලිස්පති ඩබ්ලිව් කේ සිල්වා ඊට අමතරව පොලිස් සුභසාධන දිසාවේ රාජකාරී ආවරණය කිරීමටද අනුයුක්ත කර ඇති බවයි නෙත් නිවුස් වෙත වාර්තා වුණේ. 

ස්ථානමාරුවීම් ලද ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරුන්ගේ ගණන 11 දෙනෙක්. පොලිස් අධිකාරීවරුන් 08 දෙනෙකුට,  සහකාර පොලිස් අධිකාරීවරුන් 18 දෙනෙකු සහ පොලිස් ස්ථානාධිපතිවරුන් 20 දෙනෙකුද ස්ථානමාරු හො නව පත්වීම් සඳහා අනුමැතිය ලබා  තිබෙනවා.