Thursday, May 2, 2024

General line - 0115112241

ගාලු කොටුවේ ඉපැරණි තැපැල් කාර්යාලයේ බිත්තියක් කඩා වැටේ (PHOTOS)




ලෝක උරුම ගාලුකොටුව තුල පිහිටි ඉපැරණි තැපල් කාර්යාලය පවත්වාගෙන යනු ලැබු ගොඩනැගිල්ලේ බිත්තියක් සම්පුර්ණයෙන්ම කඩා වැටිමට ලක්ව තිබෙනවා. ඊයේ (07) රාත්‍රි 7.30 ට පමණ මෙම ගොඩනැගිල්ලේ බිත්තිය කඩා වැටීම නිසා එහි සුන්බුන්වලින් ගාල්ල කොටුව තුල පිහිටි පල්ලිය පාර අවහිරවී ඇති බවයි අප වාර්තාකරු පැවසුවේ.

ප්‍රධාන බිත්තියක් කඩා වැටීම නිසා වහලයේ කොටසකට, ජනේල කිහිපයකට සහ දොරටු කිහිපයකට දැඩිව අලාභ හානි සිදුව තිබෙනවා. 

ගාල්ල කොටුවේ ඇති පල්ලිය පාර බොහෝ විට විදේශිකයින්, මගී ජනතාව මෙන්ම සවුත්ලන්ඩ් විදුහලට පැමිණෙන සිසුවියන් සහ දෙමව්පියන් භාවිත කරන අතර මෙම ගොඩනැගිල්ලේ බිත්තිය රාත්‍රි කාලයේදී කඩා වැටීම නිසා සිදුවෙන්නට ගිය විශාල විනාශයක් වැලකි ගොස් තිබු බවයි එහි පදිංචිකරුවන් සඳහන් කර සිටියේ.

ගාලු කොටුවේ පිහිටි පැරණිතම ගොඩනැගිල්ලක් වන මෙම තැපැල් කාර්යාලය ලන්දේසි පාලන සමය්දී ඉදිකොට ඇත. එකල මෙකි ගොඩනැගිල්ල ගාලු කොටුවේ ප්‍රධාන පරිපාලක නිලධාරියාගේ නිල නිවස ලෙස භාවිත කර තිබුණා. බ්‍රිතාන්‍ය පාලන සමයේදී මෙම ගොඩනැගිල්ල තුල තැපැල් කාර්යාලය ආරම්භ කරනු ලැබුවා. මෙම තැපැල් කාර්යාලය එවකට ලංකාවේ ආරම්භ කළ පළමු තැපැල් කාර්යාලය ලෙස සැලකෙනවා.

මෙම ගොඩනැගිල්ල වරින් වර අලුත්වැඩියා කරනු ලැබූ අතර මිට පෙර අවස්ථා කිහිපයකදී ගොඩනැගිල්ලේ බිත්ති හා වහලය කඩා වැටීමට ලක්විය. මෙම ගොඩනැගිල්ල අබලන්වීම හේතුවෙන් එහි පවත්වාගෙන ගිය තැපැල් කාර්යාලය දැනට වෙනත් ස්ථානයක පවත්වාගෙන යනු ලබනවා.

" මෙම ගොඩනැගිල්ලේ බිත්ති තෙමන නිසා වරින්වර බිත්ති ආවරණය කිරීමේ කටයුතු සිදුකළා. ගාලු උරුමය පදනම මගින් ඒ සඳහා අවශ්‍ය ද්‍රව්‍ය ලබා දුන්නා. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව ඒ සඳහා අවශ්‍ය ශ්‍රම දායකත්වය ලබාදුන්නා. වහලය මගින් බිත්ති කුළුණු වලට බර එන නිසා වහලය ගැලෙව්වා. පසුව ඉටි රෙදි යොදලා එය ආවරණය කළා. පසුව සෙවිලි තහඩුවලින් ආවරණය කළා. බිත්ති තෙමෙන එක තහඩු දමා වහලා දැම්මා" යැයි ගාල්ල් දිස්ත්‍රික් පුරාවිද්‍යා සහකාර කොමසාරිස් වසන්ති අලහකෝන් මේ සම්බන්ධයෙන් සිදුකළ විමසීමකදී ප්‍රකාශ කර සිටියා.

මේ සම්බන්ධයෙන් වැඩිදුර සොයා බැලීමට හා ඉදිරි ක්‍රියාමාර්ග ගැනීම සඳහා හෙට (09) දිනයේදී පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ කණ්ඩායමක් මෙම ස්ථානය වෙත පැමිණීමට නියමිතව තිබෙනවා.