Friday, May 10, 2024

General line - 0115112241

කෘතීම රා ජාවාරම හෙළි කළ මාධ්‍යවේදියාට පහරදුන් සැකකරුවන් කොටු




අලුත්ගම ප‍්‍රදේශයේ සිදු කෙරුණු කෘතීම රා නිපදවීමේ ජාවාරමක් පිළිබද මාධ්‍යයට අනාවරණ කළේ යැයි පවසමින් මාධ්‍යවේදියෙකුට සහ ඔහුගේ බිරිඳට පහර දුන් සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

නෙත් නිවුස් ප‍්‍රාදේශීය වාර්තාකරු තුසිත කුමාරට සහ ඔහුගේ බිරිඳට මෙලෙස පහරදී තිබූ අතර අත්අඩංගුවට ගැණුනු සැකකරුවන් 5 දෙනා ලබන 20 වැනිදා දක්වා අද (10) රක්‍ෂිත බන්ධනාගාරගත කෙරුණා. ඒ, කළුතර මහේස්ත‍්‍රාත් චන්දිම එදිරිමාන්නගේ නියෝගයක් අනුවයි. 

මෙම සැකකරුවන් පහරදීම සිදුකළ දිනම ප‍්‍රදේශය අතහැර පලාගොස් තිබුණා. ඔවුන් අත්අඩංගුවට ගැණුනේ තිස්සමහාරාම සහ මතුගම යන ප‍්‍රදේශවලදීයි. 

තුවාල ලැබූ නෙත් නිවුස් ප‍්‍රාදේශීය වාර්තාකරු තුසිත කුමාර සහ ඔහුගේ බිරිඳ ප‍්‍රතිකාර සඳහා ඇතුළත් කෙරුණේ කළුතර නාගොඩ රෝහලටයි.

මේ අතර පූජ්‍ය මාගල්කන්දේ සුදත්ත හිමියන්ද කෘතීම රා නිපදවීමේ ජාවාරම සම්බන්ධයෙන් අද අදහස් පළ කළා. එහිදී ස්වාමීන්වහන්සේ පෙන්වා දුන්නේ කෘතිම රා පළාත් රැසකට විශාල ගැටලුවක් වී ඇති බවයි.