Saturday, May 4, 2024

General line - 0115112241

"පාඨලීගේ සිද්ධිය රථවාහන නඩුවක් පමණක් නොවේ" - විමර්ශනවලින් තවත් කරුණු රැසක්




පාර්ලිමේන්තු මන්තී‍්‍ර පාඨලී චම්පික රණවකට රජයේ වාහන අවභාවිත කිරීම සම්බන්ධයෙන් ද චෝදනාවක් එල්ල වී තිබෙනවා. ඒ, රාජගිරියේ සිදුවූ ආන්දෝලනාත්මක රියඅනතුරට සම්බන්ධව මේ වනවිට සිදුකෙරෙන වැඩිදුර විමර්ශනවලදීයි. 

රිය අනතුරෙන් පසුව පාඨලී චම්පික රණවක මන්තී‍්‍රවරයා මහා නගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍යවරයා ලෙසයි පත්ව ඇත්තේ. මෙම අනතුරට පත්ව ඇත්තේ ඔහු විදුලිබල හා බලශක්ති අමාත්‍යවරයා ලෙස කටයුතු කළ සමයේ භාවිත කළ ජීප්රථයක්. එය හිටපු අමාත්‍යවරයා විසින් මහා නගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍යංශයට රැගෙනවිත් තිබෙනවා.

ඒ, කිසිඳු නිල දැනුම්දීමකින් තොරවයි. ජනාධිපති ලේකම්වරයාගේ නියමය පරිදි අමාත්‍යවරයෙකුට භාවිත කළ හැක්කේ නිල වාහන 03 ක් පමණයි. එහෙත්, අනතුරට පත්වූ ජීප් රථය සමග හිටපු අමාත්‍යවරයා වාහන 04 ක් භාවිත කර ඇති බවටයි දැන් අනාවරණ වී ඇත්තේ. විදුලි බල හා බලශක්ති අමාත්‍යංශය විසින් අදාළ වාහනය සිය අමාත්‍යංශයට භාරදෙන ලෙස ඉල්ලීමක් කර ඇතත්, පාඨලී චම්පික රණවක මන්තී‍්‍රවරයා එය ලබාදී නැහැ.

පසුව අදාළ රිය අනතුර සම්බන්ධයෙන් මහා නගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍යංශය විසින් එම ජීප් රථයට රුපියල් නව ලක්ෂ 17,224 ක රක්ෂණ මුදලක් ද ලබාගෙන ඇති බවයි වැඩිදුරටත් හෙළිවී ඇත්තේ. 

මෙම රියඅනතුර සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ඨාශය ද විශේෂ විමර්ශනයක් සිදු කරනවා. ඒ, අනතුරෙන් තුවාල ලැබූ තරුණයාගේ පියා පොලිස්පතිවරයාට කළ පැමිණිල්ලකට අනුවයි. සත්‍ය කරුණු විකෘති කර අසත්‍ය නඩුවක් ගොනුකිරීම ඇතුළු කරුණු කිහිපයකට අදාළවයි එම පරීක්ෂණය සිදුවන්නේ.

එහි ජ්‍යෙෂ්ඨ ප‍්‍රකාශකයෙකු පැවසුවේ මෙය හුදෙක් රථවාහන නඩුවක් පමණක් නොවන බවයි. අනතුර සිදුවූ ස්ථානය සහ පාර්ලිමේන්තු මන්තී‍්‍ර පාඨලී චම්පික රණවකගේ දුරකතන සංඥා ද ගැලපී ඇති බව ද පරීක්ෂණවලදී අනාවරණ වී තිබෙනවා.

සංඥා කුළුණුවලින් ලබාගත් දත්තවලදී මන්ති‍්‍රවරයාගේ දුරකතනය රාජගිරිය ප‍්‍රදේශයේ තිබෙන බවටත්, අනතුර සිදුවන අවස්ථාවේ වාහනයේ සිටි බව කියන රියදුරාගේ දුරකතනය කොස්වත්ත ප‍්‍රදේශයේ තිබූ බවටත් අනාවරණ වී ඇතැයි සඳහන්.

මේ අතර අනතුරට පත් තරුණයා පැදවූ යතුරු පැදිය, මෝටර් රථ ප‍්‍රවාහන දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කළ යතුරු පැදියක් බව ද හෙළිවී තිබෙනවා.