Sunday, May 5, 2024

General line - 0115112241

ශිෂ්‍යත්ව සමතුන්ගේ ශිෂ්‍යාධාරය ජනවාරි සිට "Online" ක්‍රමයට 




පහ ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගය සමතුන්ට ලබාදෙන ශිෂ්‍යාධාරයන් සෑම මසකම 10 වැනි දින වනවිට සිසුන්ගේ බැංකු ගිණුම් වෙත මාර්ගගත ක්‍රමයට (Online) මුදල් බැර කිරීමට කටයුතු කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා. 

ඒ සඳහා මේ වන විට එම මුදල් ගෙවීමේ ක්‍රියාවලිය වඩාත් කාර්යක්ෂමව සිදුකිරීමට ශිෂ්‍යාධාර දීමනාව සඳහා සුදුසුකම් ලබා සිටින සියලු පාසල් සිසුන්ගේ සවිස්තරාත්මක දත්ත පද්ධතියක් සකස් කර ඇති බවයි මුදල් අමාත්‍යාංශය සඳහන් කරන්නේ.

පහ ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගයට සෑම වසරකදීම  සිසුන් 350,000කට ආසන්න පිරිසක් පෙනී සිටින අතර මේ වනවිට ඔවුන් අතරින් ශිෂ්‍යත්වය සමත් අඩු ආදායම්ලාභී පවුල්වල (මාසික ආදායම රුපියල් 15000ට අඩු)  සිසුන් 20,000 කට පමණ ශිෂ්‍යාධාර ලබාදීම සිදු කරනු ලබනවා. ශිෂ්‍යත්ව සමතුන් වෙත මෙසේ ශිෂ්‍යාධාර ලබාදීම 6 ශ්‍රේණියේ සිට 13 ශ්‍රේණිය දක්වා අඛණ්ඩව සිදු කෙරෙන ක්‍රියාවලියක් වේ.

ශිෂ්‍යාධාර මුදල් ලබාගැනීම සඳහා මෙතෙක් පැවති ක්‍රමය වූයේ, එක් එක් සිසුන් තමන්ගේ ශිෂ්‍යාධාර මුදල් ලබා ගැනීමට මාස් පතා වවුචර් මඟින් ඉල්ලුම් කිරීමයි. එම නිසා පැවති ගැටළු සහ ප්‍රමාදයන් මෙම Online ක්‍රමය මඟින් විස‍ඳෙන අතර එමගින් අදාළ ශිෂ්‍යාධාර මුදල් අපහසුවකින් තොර ව සිසුන්ගේ ගිණුමට සෘජුවම ලබාදීමට හැකිවීම මෙහි විශේෂත්වයක්.

ශිෂ්‍යත්ව සමත් සියලු දරුවන්ට මාසිකව රුපියල් 750/- ක් මේ අනුව හිමිවන අතර පසුගිය අයවැයෙන් ඒ සඳහා රුපියල් මිලියන 900ක් වෙන් කර ඇත.

ඒ අනුව, 2020 වර්ෂයේ ජනවාරී මස සිට රජයේ සියලුම පාසල්වල සහ පිරිවෙන්වලත්, පෞද්ගලික හා රජයේ ආධාර ලබන පාසල්වලත් පහ ශ්‍රේණි ශිෂ්‍යත්ව සමත් ශිෂ්‍යාධාර සුදුසුකම් ලබන සිසුන් සඳහා  Online ක්‍රමයට ශිෂ්‍යාධාර ලබා දීම සිදුකරණ බවයි මුදල් අමාත්‍යාංශය සඳහන් කර සිටියි.