Saturday, May 4, 2024

General line - 0115112241

රන්ජන්ගේ හඬපට හමුවේ මෛත්‍රිගේ අයිතිය ගැන ශ්‍රීලනිපය කතා කරයි




පාර්ලිමේන්තු මන්තී‍්‍ර රන්ජන් රාමනායක සිදුකළ දුරකතන සංවාද ඇතුළත් හඬපටවල අන්තර්ගත කරුණු සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා පැහැදිළි කිරීමක් සිදුකරන්නේ ඔහුගේ අභිමතය පරිදි බව ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය පවසනවා.

පක්ෂයේ උප ලේකම් රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මේ බව පැවසුවේ රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ ඊයේ (07) සිදුකළ ප‍්‍රකාශයකට ප‍්‍රතිචාර දක්වමින්. 

රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ එහිදී කියාසිටියේ ආන්දෝලනාත්මක හඬපටවල ඇතුළත් කරුණු පිළිබඳ හිටපු ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා විසින් කරුණු දැක්වීම වඩා යෝග්‍ය බවයි. 

ඊට ප‍්‍රතිචාර දැක්වූ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න පෙන්වා දුන්නේ "ඕන කෙනෙකුට මත ඉදිරිපත් කරන්න පුළුවන්. හඬපටවල තියෙන කරුණු නීති විරෝධී නම් අනිවාර්යයෙන් නීතිය ක්‍රියාත්මක වෙයි. ඕන කාලයක වැරදි දෙයක් වැරදියි. හිටපු ජනාධිපතිට ප්‍රකාශයක් ලබා දෙන්නත් අයිතියක් තියෙනවා.. එසේ නොකරන්නත් අයිතියක් තියෙනවා." බවයි  

මේ අතර ආන්දෝලනාත්මක දුරකතන සංවාද සම්බන්ධයෙන් පොලීසිය නිසි පරීක්ෂණයක් සිදුකරනු ඇතැයි අමාත්‍ය මහින්ද අමරවීර ද ප‍්‍රකාශ කළා.  එහිදී "අධිකරණයේ විනිසුරුවරුන් ඇමතිවරුන්ට කතා කරලා පත්වීම් ඉල්ලන තත්ත්වයකට පත්වෙලා තියෙනවා නම් ඒ පිළිබඳව අපි කණගාටු වෙනවා. " යනුවෙන් සඳහන් කළා.

 

මේ අතර පාර්ලිමේන්තු මන්ත‍්‍රී රන්ජන් රාමනායක අත්අඩංගුවට ගැනීමේ සිද්ධියට රජයේ කිසිඳු සම්බන්ධයක් නැතැයි රාජ්‍ය අමාත්‍ය එස්. බී. දිසානායක අද (08) ප‍්‍රකාශ කළා.