Sunday, May 5, 2024

General line - 0115112241

කොරෝනා භීතය මධ්‍යයේත් චීනය යළි යථාතත්ත්වයට




කොරෝනා වෛරසය නිසා කඩා වැටුණු චීනයේ ජන ජීවිතය යළි ආරම්භ වෙමින් තිබෙනවා. ඒ අනුව විදෙස් මාධ්‍ය රැසක් අද (10) වාර්තා කර තිබුණේ චීන වැසියන් බොහෝ පිරිසක් අද සිය සුපුරුදු දෛනික රාජකාරී කටයුතු සඳහා වාර්තා කළ බවයි. කොරෝනා  වෛරසයේ ව්‍යාප්තිය හේතුවෙන් නව අවුරුදු නිවාඩුසමය දීර්ඝ කිරීමට බලධාරීන් පියවර ගෙන තිබුණා. එම නිවාඩු කාලයව අවසන්වීම හමුවේයි චීන වැසියන් මෙලෙස යළිත් සිය රාජකාරී සඳහා වාර්තා කරමින් සිටින්නේ.

ඒ අනුව චීනයේ වසා දමා ඇති නගර හැර අනෙකුත් නගරවල පිහිටි කාර්යාල හා කර්මාන්ත ශාලාවල දෛනික කටයුතු අද සිට ආරම්භ වී තිබෙනවා. නව කොරෝනා වෛරසයේ ව්‍යාප්තියත් සමග ජනතාව වෙනුවෙන් පනවා තිබූ ඇතැම් සීමා පැනවීම් ලිහිල් කිරීමට ද බලධාරීන් කටයුතු කර ඇතැයි සඳහන්. එහෙත්, ලොව සුපක්‍රට සමාගම් රැසක චීනයේ පිහිටි ශාඛා කාර්යාල තවදුරටත් වසා පවතිනවා. එම සමාගම්වල සේවයේ නියුතු පිරිස් හට සිය නිවෙස්තුළ සිට රාජකාරී කිරීමට තවදුරත් අවස්ථාව පවතින බව සඳහන්.

මේ අතර නව කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය හමුවේ චීනයේ පිහිටි මෝටර් රථ අමතර කොටස් නිෂ්පාදන සමාගම් වසා තැබීම හේතුවෙන් ජාත්‍යන්තර වෙළඳපලේ එම අමතර කොටස් හිගයක් පවතින බවයි වාර්තා වන්නේ. 

කෙසේවෙතත් සිය මෙහෙයුම් කටයුතු එළඹෙන සතියේයළි ආරම්භ කරන බවයි චීනයේ පිහිටි ලෝ ප්‍රකට මෝටර් රථ නිෂ්පාදන සමාගම් කිහිපයක් පැවසුවේ.

මේ අතර නව කොරෝනා අර්බුදයට විසඳුම් සොයන චීන බලධාරීන් හට සහය පළ කිරීම සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානයේ විශේෂඥයින් පිරිසක් අද බීජිං නුවරට පැමිණ තිබෙනවා. නව කොරෝනා ව්‍යාප්තිය මැඩපැවැත්වීමේ ක්‍රියාවලියට සහය පළ කිරීම සඳහා සිය විශේෂඥයින් පිරිසක් චීනය එවීමට අමෙරිකාව සූදානමින් සිටියත් චීනය මෙතෙක් ඊට එකගත්වය පළ කර නැහැ.