Monday, April 29, 2024

General line - 0115112241

 යුරෝපයේ කොරෝනා අවදානම ඉහළට




කොවිඞ් නයින්ටීන් හෙවත් කොරෝනා වෛරසය, යුරෝපා රටවල ව්‍යාප්ත වීම ඉහළ ගොස් තිබෙනවා. ඉතාලිය, ජර්මනිය, ප‍්‍රංශය, බෙල්ජියම, ස්පාඤ්ඤය, ස්විට්සර්ලන්තය, නෙදර්ලන්තය, ගී‍්‍රසිය ඒ අතරින් ප‍්‍රධානයි. ගතවූ පැය 24 තුළ වැඩිම රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වන්නේ ඉතාලියෙන්.

එම සංඛ්‍යාව 769 ක්. ජර්මනියෙන් රෝගීන් 283 දෙනෙකු, ප‍්‍රංශයෙන් රෝගීන් 138 දෙනෙකු සහ ස්පාඤ්ඤයෙන් රෝගීන් 54 දෙනෙකු අලූතින් වාර්තා වී තිබෙනවා. නෙදර්ලන්තයෙන් රෝගීන් 44 දෙනෙකු සහ ස්විට්සර්ලන්තයෙන් රෝගීන් 26 දෙනෙකු ද අලූතින් වාර්තා වී ඇති බවයි විදෙස් වාර්තාවල දැක්වෙන්නේ. බි‍්‍රතාන්‍යයෙන් ද පළමු කොරෝනා මරණය වාර්තා වූ අතර ජීවිතක්‍ෂයට පත්ව ඇත්තේ 70 හැවිරිදි වියේ පසුවූ කාන්තාවක්. ගත වු පැය 24 තුළ බි‍්‍රතාන්‍යයෙන් ද අලූතින් රෝගීන් 29 දෙනෙකු වාර්තා වී තිබෙනවා. 

මේ අතර කොරෝනා වෛරසයට රෝගීන් ගොදුරු වී ඇත්දැයි පරීක්‍ෂා කරන පරීක්‍ෂණ උපකරණවල හිගයක් තම රට තුල ඇති බව අමෙරිකාව අද පළමු වරට පිළිගත්තා. අමෙරිකානු උප ජනාධිපති මයික් පෙන්ස් පවසා ඇත්තේ පරීක්‍ෂණ උපකරණ මිලියනයක් මෙම සතිය තුළ අමෙරිකාව විසින් ලබාගත යුතුව ඇති බවයි. එහෙත් මෙතෙක් එම ඉලක්කය සපුරා ගැනීමට ට‍්‍රම්ප් පාලනයට නොහැකි වී ඇති බව ඔහු පිළිගෙන තිබෙනවා. 

කොරෝනා වෛරසය මේ වනවිට අමෙරිකාව තුළ ද ව්‍යාප්ත වෙමින් ඇති අතර වාර්තා වන මුළු රෝගීන් සංඛ්‍යාව 226 ක්. පුද්ගල මරණ 12 ක් ද අමෙරිකාවෙන් වාර්තා වනවා. පවතින තත්ත්වය සළකා හදිසි ආධාර පැකේජයක් අනුමත කිරීමටයි ට‍්‍රම්ප් පාලනය තීරණය කර ඇත්තේ.  

මේ අතර කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය හේතුවෙන් ප‍්‍රධාන නගර අතර සංචාරක ගමන් සීමා කිරීමට ඉරානය තීරණය කර තිබෙනවා. එරට පාසල් සියල්ල අපේ‍්‍රල් මාසය තෙක් දැනටමත් වසා දමා අවසන්. එමෙන්ම හැකිතාක් මුදල් නෝට්ටු භාවිතය සීමා කරන ලෙසට ද එරට සෞඛ්‍ය බලධාරීන් ජනතාවගෙන් ඉල්ලා තිබෙනවා. ඉරානයෙන් මේ වනවිට කොරෝනා මරණ 108 ක් වාර්තා වන අතර ගත වු පැය 24 තුළ වාර්තා වී ඇති රෝගීන් සංඛ්‍යාව 500 කට අධිකයි. මේ වනවිට ඉරානයෙන් රෝගීන් 3,513 දෙනෙකු වාර්තා වනවා.    

මේ වනවිට ලොව සියළු රටවලින් වාර්තා වී ඇති කොරෝනා මරණ ගණන 3,385 ක්. ලොව පුරා රටවලින් කොරෝනා වෛරසය ආසාධිත රෝගීන් 98,421 ක් මේ වනවිට වාර්තා වී තිබෙනවා.