Thursday, May 9, 2024

General line - 0115112241

ජනාධිපති කොමිසමේ ලේකම්වරියට යලි වරෙන්තු 

අධිකරණ වාර්තාකරු




දේශපාලන පලිගැනීම් සම්බන්ධයෙන් විමර්ශන සිදු කරන ජනාධිපති කොමිෂන් සභාවේ ලේකම්වරිය වන පර්ල් වීරසිංහ වහා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණය අද (10) යළි වරෙන්තු නිකුත් කරනු ලැබුවා. 

මෙම තැනැත්තිය මාර්තු මස 12 දාට පෙර අත් අඩංගුවට ගැනීමට නොහැකි වූවොත් එලෙස අත් අඩංගුවට ගැනීමට නොහැකි වීම සම්බන්ධයෙන් වැඩබලන පොලිස්පතිවරයාට මාර්තු 12 දා පුද්ගලිකව පෙනී සිට කරුණු දක්වන ලෙසට ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල නියෝග කරනු ලැබුවේ. 

මෙම ලේකම්වරිය පදිංචි ලිපිනය හෝ ඇයගේ ලිපියක්  සොයා ගැනීමට නොහැකි වූ බැවින් ඇයව අත්අඩංගුවට ගැනීමට නොහැකි වූ බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දුන්නා.

මහාධිකරණ විනිසුරු විකුම් කලුආරච්චි මහතා ප්‍රමුඛ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල මෙම නියෝගය නිකුත් කළේ අලි රොෂාන් ඇතුළු විත්තිකරුවන් අට දෙනෙකුට එරෙහිව පවරා ඇති නඩුවේ විමර්ශන ගොනු මහාධිකරණය හමුවේ පෙනී සිට ඉදිරිපත් කරන ලෙසට ලේකම්වරිය වෙත කර තිබූ නියෝගය පැහැර හැරීම සම්බන්ධයෙන්.

දින තුනක් තිස්සේ කාන්තා රාජ්‍ය නිළධාරිණියක්වත් අත් අඩංගුවට ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නොහැකි වීම ලැජ්ජාව පත් විය යුතු කාරණයක් බව ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල අවධාරණය කරනු ලැබුවා. 

අලි රොෂාන් ඇතුළු විත්තිකරුවන් කිහිප දෙනෙකුට එරෙහිව පවරා ඇති නඩුවේ විමර්ශන ගොනු දින කිහිපයකට පමණක් සාක්ෂි විමසීම සදහා ඉල්ලා සිටිඅවස්ථාවකදී ජනාධිපති කොමිෂන් සභාව ඊට එකග නොවී නඩු කටයුතු කල් තැබීමට ක්‍රියා කිරීම ජනාධිපතිවරයා විසින් පත් කර ඇති කොමිෂන් සභාවේ අරමුණු වලටත් පටහැනි බව විනිසුරු මඩුල්ල පවසා සිටියා. 

එම නිසා කොමිෂන් සභාවේ සාමජිකයන් සහ ලේකම්වරිය කටයුතු කරන ආකාරය ජනාධිපතිවරයාටත් අගෞරවයක් බව විනිසුරු මඩුල්ල අවධාරණය කරනු ලැබුවා. එමෙන්ම පර්ල් වීරසිංහගේ විදේශ ගමන් තහනම් කිරීමට ද කොළඹ මහාධිකරණය මීට පෙර නියෝග කරන ලදී. 

මෙම නඩුවට අදාළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ලිපි ගොනු දේශපාලන පළිගැනීම් පිළිබඳ විමර්ශනය කරන ජනාධිපති කොමිෂන් සභාව වෙත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව යොමු කර ඇති බැවින් මෙම ගොනු ඉදිරි නඩු කටයුතු සදහා කොළඹ මහාධිකරණය වෙත ඉදිරිපත් කරන ලෙසට අධිකරණය එම කොමිෂන් සභාවේ ලේකම්වරියට මීට පෙර නියෝග කර තිබුණා. කෙසේවෙතත් නීතිඥවරයකු මාර්ගයෙන් ලිපියක් යොමු කරමින් ලේකම්වරිය ත්‍රිපුද්ගල මහාධිකරණයේ නියෝගය පැහැර හැරීමට කටයුතු කර ඇති බවට අධිකරණය අවධාරණය කරන ලදී. 

 ඒ අනුව නීති විරොධි ලෙස බලපත්‍ර නොමැතිව වන අලි ලග තබා ගැනීමේ  චෝදනා  සම්බන්ධයෙන් සමරප්පුලිගේ නිරාජ් රොෂාන් හෙවත් අලි රොෂාන් නැමැත්තා ඇතුලු විත්තිකරුවන්  අට දෙනෙකුට එරෙහිව ගොනු කර ඇති නඩුව මාර්තු  මස 12 දා කැදවීමට කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණය අද නියෝග කළා. සමරප්පුලිගේ නිරාජ් රොෂාන් වනජීවි දෙපාර්තමේන්තුවේ නිළධාරීන් වන ප්‍රියංකා සංජීවනී සහ උපාලි පද්මසිරි ඇතුළු අට දෙනෙකුට එරෙහිව වනසත්ව හා වෘක්ෂලතා පනත සහ පොදු දේපල පනත යටතේ නීතිපතිවරයා නඩු පවරා ඇත.