Wednesday, May 8, 2024

General line - 0115112241

ඉතාලිය මෙන් බ්‍රිතාන්‍යයේත් නගර වසා දමන්න සිදුවේවි : විශේෂඥයින් අනතුරු අඟවයි (PHOTOS)




නව කොරෝනා වෛරසය හේතුවෙන් ඉතාලිය මෙන් ඉදිරි සති දෙක තුලදී බ්‍රිතාන්‍යයේ නගරද සම්පුර්ණයෙන් වසා දැමීමට සිදුවනු ඇති බව එරට වෛද්‍ය විශේෂඥයින් අනතුරු අඟවා සිටිනවා. ඔවුන් සඳහන් කරන්නේ බ්‍රිතාන්‍යය මේ වන විට වසංගත තත්ත්වයක් කරා ගමන් කරමින් සිටින බවයි.

බ්‍රිතාන්‍යයේ මේ වන විට කොරෝනා වෛරසය හේතුවෙන් පුද්ගලයින් පස් දෙනෙක් ජිවිතක්ෂයට පත්ව ඇති අතර පුද්ගලයින් 321 ක් දෙනෙක් වෛරසයට ගොදුරුව තිබෙනවා. දිනෙන් දින වාර්තා වන රෝගීන් සංඛ්‍යාවේ ඉහළ යාමක් පෙන්වන බවයි එරට සෞඛ්‍ය බලධාරින් සඳහන් කර සිටින්නේ.

මේ අතර බ්‍රිතාන්‍යය ගුවන් සේවය විසින් ඉතාලිය දක්වා සිදුකෙරෙන ගුවන් ගමන් ලබන අප්‍රේල් මස 04 වෙනිදා දක්වා තාවකාලිකව අත්හිටුවීමට පියවර ගෙන තිබෙනවා.

යුරෝපා සංගමයට අයත් රටවල් 27 තුලම කොරෝනා වෛරසය ව්‍යාප්තවී ඇති බව යුරෝපා වසංගත රෝග විද්‍යාතනය නිවේදනය කර සිටිනවා. ඒ සයිප්‍රසයෙන් පළමු කොරෝනා රෝගීන් දෙදෙනා අද වාර්තා වීමත් සමගයි.

මේ අතර ප්‍රංශයේ සංස්කෘතික අමාත්‍ය ෆ්‍රෑන්ක් රියෙස්ටර්ද කොරෝනා වෛරසයට ගොදුරුව ඇති බව එරට සෞඛ්‍ය අමාත්‍යාංශය අද නිවේදනය කර සිටියා.

චීනයෙන් පිටත වැඩිම කොරෝනා වෛරසයට ගොදුරුවූ රෝගීන් සංඛ්‍යාව ඉරානයෙන් වාර්තා වනවා.

ඉරානයෙන් මේ වන විට කොරෝනා වෛරස් රෝගීන් 8042 ක් වාර්තා වන අතර පුද්ගල මරණ සංඛ්‍යාව 291ක් වනවා.

මේ වන විට ලොවපුරා කොරෝනා වෛරසයට පුද්ගලයින් 114,633ක් ගොදුරුව ඇත. වාර්තා වන මරණ සංඛ්‍යාව 4,072ක් වනවා.