Sunday, May 5, 2024

General line - 0115112241

රවීගේ පෙත්සම හෙටට කල් යයි




හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක ඇතුළු හතර දෙනෙකු ගොනු කර ඇති රිට් පෙත්සම් වලට අදාළ වැඩිදුර කරුණු සලකා බැලීම හෙට දිනට කල් තැබීමට අභියාචනාධිකරණය අද නියෝග කළා. ඒ අනුව පර්පෙචුවල් ටෙ‍්‍රෂරීස් පුද්ගලික සමාගමේ හිමිකරු ලෙස කටයුතු කළ අර්ජුන ඇලෝසියස් වෙනුවෙන් පෙනී සිටින ජනාධිපති නීතිඥ නවින් මාරපන හෙට උදෑසන කරුණු ඉදිරිපත් කිරීමට නියමිතයි. ඉන් අනතුරුව නීතිපතිවරයා විසින් පෙත්සම්කරුවන්ගේ නීතිඥවරුන්ගේ දේශන වලට පිළිතුරු ලබා දීමටයි නියමිතව ඇත්තේ. 

නීතිපතිවරයා විසින් අද දිනයේ අභියාචනාධිකරණයේදී මූලික විරෝධතා ඉදිරිපත් කරමින් පැවසුවේ අධිකරණ කටයුතු මගහරිමින් සිටින රවි කරුණානායක හිටපු මන්තී‍්‍රවරයාට අභියාචනාධිකරණයෙන් සහන ඉල්ලා සිටීමට නීතිමය පදනමක් නොමැති බවයි. හිටපු මන්ති‍්‍රවරයාට එරෙහිව පවතින චෝදනා වෙළෙඳපොළ ස්ථායිතාවට බලපෑම් කිරීම ආදි බරපතළ චෝදනා බව නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් මිලින්ද ගුණතිලක මෙහිදී කියා සිටියා.

ඔහුට එරෙහිව ඇති චෝදනා වරෙන්තු ලබා ගැනීමෙන් තොරව වුවද අත්අඩංගුවට ගත හැකි චෝදනා බව පවසා සිටි ඔහු පොලිසිය වරෙන්තු ලබා ගැනීමට කටයුතු කළේ අධිකරණමය ක‍්‍රියා පරිපාටිය අනුගමනය කිරීමට අවශ්‍ය වූ බැවින් යැයි ද ප‍්‍රකාශ කළා.