Sunday, May 5, 2024

General line - 0115112241

විජිත් විජේමුණි සහ තවත් කිහිපදෙනෙක් පක්ෂයෙන් නෙරපා හරී




හිටපු පාර්ලිමේන්තු මන්තී‍්‍ර විජිත් විජේමුණි සොයිසා ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂයෙන් නෙරපා හැර තිබෙනවා.

ඒ, පක්‍ෂයේ මධ්‍යම කාරක සභාව ගත් තීරණයකට අනුවයි. ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති මහාචාර්ය රෝහණ ලක්‍ෂ්මන් පියදාස පැවසුවේ හිටපු මන්තී‍්‍රවරයාට අමතරව ප‍්‍රාදේශීය සභා මන්තී‍්‍රවරුන් පිරිසක්ද පක්‍ෂයෙන් නෙරපා හැරි බවයි. පක්ෂයේ විනය ක්‍රියාමාර්ගවලට අනුව මෙම තීරණ ගත් බවත් සඳහන් කළා.

ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂයේ මධ්‍යම කාරක සභා රැස්වීම ඊයේ (12) රාත්‍රියේ පැවැත්වුණේ පක්‍ෂ සභාපති, හිටපු ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන්. ඉදිරි මහ මැතිවරණයේදී පක්‍ෂයක් ලෙස ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂය කටයුතු කළ යුතු ආකාරය සම්බන්ධයෙන් එහිදී සාකච්ඡා වූ බවයි ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපතිවරයා වැඩිදුරටත් කියාසිටියේ.

මේ අතර හිටපු පාර්ලිමේන්තු මන්තී‍්‍ර කුමාර වෙල්ගමගේ නායකත්වයෙන් යුත් නව ලංකා නිදහස් පක්‍ෂය, හිටපු විපක්‍ෂ නායක සජිත් පේ‍්‍රමදාස මහතාගේ නායකත්වයෙන් යුත් සමගි ජන බලවේගයට සහය දැක්වීමට තීරණය කර තිබෙනවා. ඊට අදාළ ගිවිසුමට අත්සන් තැබුණේ සමගි ජන බලවේග ජනගත කිරීම වෙනුවෙන් ඊයේ (12) රාති‍්‍රයේ පැවති උත්සවයකදීයි. 

මෙහිදී සමගි ජන බලවේගයේ ඡන්ද ලකුණ වන දුරකතනය ලකුණ නිල වශයෙන් එළිදැක්වීමද සිදුවුණා.

හිටපු පාර්ලිමේන්තු මන්තී‍්‍ර රිෂාඞ් බදියුදීන්ද මෙහිදි සමගි ජන බලවේගය හා එක්වෙමින් ගිවිසුම් ගත වූ බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.

සජිත් පේ‍්‍රමදාස මහතාට අමතරව රංජිත් මද්දුම බණ්ඩාර, පාඨලී චම්පික, හරීන් ප‍්‍රනාන්දු, එරාන් වික‍්‍රමරත්න, හර්ෂ ද සිල්වා ඇතුළු සමගි ජන බලවේගය නියෝජනය කරන දේශපාලනඥයින් කිහිප දෙනෙකු මෙම අවස්ථාවට එක් වුණා.

දුරකතනය ලකුණ මෙලෙස ඊයේ එළිදැක්වීම සිදුවුණේ අලියා ලකුණින් ඉදිරි මහ මැතිවරණයට තරග වදින බවට එක්සත් ජාතික පක්‍ෂය මැතිවරණ කොමිසමට දැනුම් දී ඇති පසුබිමකයි.