Sunday, May 5, 2024

General line - 0115112241

සියලූම උත්සව තහනම් කෙරේ - විවාහ උත්සව සඳහා අමුත්තන් අවම කරගන්නැයි ජනතාවට උපදෙස්




මෙම කාලසීමාවේ විවාහ උත්සව සඳහා සහභාගී කරගන්නා පිරිස හැකිතරම් අවම කරගන්නැයි සෞඛ්‍ය අංශ සහ පොලීසිය ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා. රට තුල ව්‍යාප්තවෙමින් පවතින නව කොරෝනා වෛරසය හේතුවෙන් මේ පිළිබඳ සැලකිලිමත් වන ලෙසයි මෙහිදී ඉල්ලීමක් කෙරුණේ. 

මේවනවිට මහජනයා වැඩි වශයෙන් රැස්වන රාජ්‍ය සහ පෞද්ගලික උත්සව අද සිට සති 02 ක් තහනම් කර තිබෙනවා. වහාම කි‍්‍රයාත්මක වන පරිදි මහජනතාව වැඩි වශයෙන් ගැවසෙන පොදු හෝ පෞද්ගලික මට්ටමින් පැවැත්වීමට සූදානම් කර ඇති සියලූම ප‍්‍රසිද්ධ රැස්වීම් හා උත්සව ආදිය තහනම් කිරීමට රජය තීරණය කර ඇති බවයි පොලිස් මූලස්ථානය සඳහන් කළේ.

මේ සම්බන්ධයෙන් ශබ්ද විකාශන යන්ත‍්‍ර යොදා ගනිමින් සෑම පොලිස් බල ප‍්‍රදේශයකම ජනතාව දැනුවත් කිරීමට වැඩබලන පොලිස්පති සී.ඩී වික‍්‍රමරත්න, සියලූ පොලිස් ස්ථාන වෙත දැනුම්දීමක් ද සිදුකර තිබෙනවා. 

රෝග නිරෝධායන රෙගුලාසිවලට පටහැනිව කටයුතු කරන  ඕනෑම පුද්ගලයෙකු පොලිස් නිලධාරියෙකු විසින් වරෙන්තුවක් නොමැතිව අත්අඩංගුවට ගැනීම සඳහා ප‍්‍රතිපාදන සලසා ඇති බවයි පොලිස් මූලස්ථානය පැවසුවේ. 

මේ අතර විදේශ සබඳතා අමාත්‍යංශයේ නිලධාරිනියකගේ පවුලේ සාමාජිකයෙකුට කෝවිඩ් 19 හෙවත් නව කොරෝනා වෛරසය ආසාධනය වී ඇති බව විදේශ සබඳතා අමාත්‍යංශය තහවුරු කළා. 

අදාළ නිලධාරිනියද ඉකුත් සිකුරාදා සිට ස්වයං නිරෝධායනයකට ලක් කර ඇති අතර විදේශ සබඳතා අමාත්‍යංශයේ අදාළ අංශ විෂබීජහරණය කිරීමට ද පියවර ගෙන තිබෙනවා.