Wednesday, May 8, 2024

General line - 0115112241

ඉතාලියේ දිනක් තුල මරණ 475 ක් : අපි ප්‍රමාද වුණා වැඩියි - ඉතාලියේ වසංගත රෝග මහාචාර්යවරයෙක් කියයි




එක් දිනක් තුලදී කොරෝනා වෛරසයෙන් ජිවිතක්ෂයට පත්වූ වැඩිම පුද්ගලයින් සංඛ්‍යාව අද ඉතාලියෙන් වාර්තා වූවා.

විදෙස් මාධ්‍ය වාර්තා කර සිටියේ ගතවූ පැය 24ක කාලය  තුලදී ඉතාලියෙන් පුද්ගල මරණ 475ක් වාර්තා වූ බවයි.

ඉතාලියේ ලොම්බාර්ඩියා නගරයෙන් ඊයේ දිනයේදී මරණ 319 ක් වාර්තා වූ බවයි එරට බලධාරින් සඳහන් කරන්නේ.

මේ වන විට කොරෝනා වෛරසයෙන් ඉතාලියේ පුද්ගලයින් 2978 දෙනෙක් ජිවිතක්ෂයට පත්ව ඇත.

වෛරසයේ මුල් ආරම්භය සිදුවූ චීනයෙන් මේ වන විට වාර්තා වන්නේ පුද්ගල මරණ 3122ක් වන අතර දෙවන වැඩිම මරණ සංඛ්‍යාව වාර්තා වන්නේ ඉතාලියෙනි.

එරටින් ලැබෙන දත්ත අනුව කොරෝනා වෛරසය වැළදුණු පුද්ගලයින් 35,713 දෙනෙක් සිටින අතර ඉන් වැඩි බහුතරයක් වයස්ගත පුද්ගලයින් බව සඳහන්.

ඒ අනුව ඉතාලියේ තත්ත්වය ඉදිරියේදී මිට වඩා භයානක වනු ඇති බවයි සෞඛ්‍ය බලධාරින් පෙන්වා දෙන්නේ.

මේ වන විට පුරා සති දෙකකට ආසන්න කාලයක් ඉතාලිය සම්පුර්ණයෙන් වසා දැමීමට එරට රජය තීරණය කරනු ලැබුවා. ඒ කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය අවම කිරිමේ අරමුණින්.

යුරෝපීය හා ඉතාලි වෛරස් විද්‍යා සංගමයේ හිටපු සභාපති සහ පදෝවා විශ්ව විද්‍යාලයේ වෛරස් හා ක්ෂුද්‍රජීව විද්‍යාව පිළිබඳ මහාචාර්යවරයකු වන Giorgio Palù ප්‍රකාශ කර සිටියේ ඉතාලිය වසා දමා දින 10ක් ගතවූ තැන වෛරස් ව්‍යාප්තියේ අඩු වීමක් බලාපොරොත්තු වුවත් එය එසේ සිදු නොවූ බවයි.

" ඉතාලි බලධාරින් නිසි වෙලාවට ක්‍රියා කලේ නැහැ. ඇත්තටම ඔවුන්ට මීට‍ කලින් ක්‍රියා කරන්න තිබුණා. අපි ප්‍රමාද වැඩියි. ඒ වගේම වෛරසයට කිසිදු දෙශ්සිමාවක් නැහැ. එය සියලු දෙනාම මතක තබා ගන්න ඕන" මහාචාර්ය Giorgio Palù විදෙස් මාධ්‍ය සමග පැවති සාකච්ජාවකදී කියා සිටියා.