Saturday, May 4, 2024

General line - 0115112241

ගුවන් තොටුපළ මෙහෙයුම් සීමා වෙයි - එංගලන්තයේ සිට විශේෂ ගුවන් යානයක් අද කටුනායකට




කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළෙන් ශ‍්‍රී ලංකාව වෙත මගීන් පැමිණීම මේ වනවිට සම්පූර්ණයෙන් නවතා දමා තිබෙනවා. අද (19) අලුයම 04.00 සිට මෙම තහනම කි‍්‍රයාත්මක වන බවයි ගුවන් තොටුපළ සහ ගුවන් සේවා සමාගම පැවසුවේ.

කෙසේවෙතත්, අන්තර් නැවතුමක් ලෙස පමණක් මගී ගුවන් යානාවලට තවදුරටත් කටුනායකට පැමිණිය හැකි වනවා. 

ගුවන් තොටුපළ සහ ගුවන් සේවා සමාගමේ සභාපති මේජර් ජෙනරාල් ජී. ඒ. චන්ද්‍රසිරි මේ බව සඳහන් කළා. 

භාණ්ඩ ප‍්‍රවාහන ගුවන් යානාවලට ශ‍්‍රී  ලංකාවට පැමිණීම හෝ ශ‍්‍රී ලංකාවෙන් පිටත්ව යාමට ද තහනමක් නොමැති බවයි මෙහිදී වැඩිදුරටත් ප‍්‍රකාශ කෙරුණේ. 

මේ අතර කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළෙන් ශ‍්‍රී ලංකාව වෙත මගීන් පැමිණීම අද අලූයම 04.00 ට නවතා දැමීමට පෙර අලූයම 03.40 ට ඉන්දියාවේ සිට ශ‍්‍රී ලන්කන් ගුවන් යානයක් කටුනායක වෙත පැමිණ තිබෙනවා.

ඒ, විවිධ කාරණා සඳහා ඉන්දියාවට ගොස් සිටි ශ‍්‍රී ලාංකිකයින් 77 දෙනෙකු නැවත රැගෙන එමින්. මෙම පිරිසෙන් වැඩි දෙනෙකු දඹදිව වන්දනාව සඳහා ඉන්දියාවට ගොස් සිටි අයයි.

එංගලන්තයේ රැඳී සිටින ශ‍්‍රී ලාංකිකයින් පිරිසක් ද, විශේෂ ගුවන් යානයක් මගින් යළි මව්බිමට රැගෙන ඒමට සැලසුම් කර තිබෙනවා. දහවල් 12.40 ට මෙම විශේෂ ගුවන් යානය කටුනායකට පැමිණීමට නියමිතයි.

කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළෙන් ශී‍්‍ර ලංකාව වෙත මගීන් පැමිණීම මේ වනවිට නවතා දමා තිබුණත්, ඒ සඳහා විශේෂ අවසරයක් හිමිවනු ඇති. 

මේ අතර කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ මෙහෙයුම් මෙලෙස සීමා කර තිබෙන්නේ නව කොරෝනා වෛරසය තවදුරටත් ව්‍යාප්තවීම පාලනය කිරීමේ තවත් පියවරක් ලෙසයි.

යාපනය ජාත්‍යන්තර ගුවන් තොටුපළද  මේ වනවිට සම්පූර්ණයෙන් වසා දමා තිබෙනවා.