Tuesday, May 7, 2024

General line - 0115112241

යලි ඇඳිරි නිතිය පනවන දිනය ඉරිදා දැනුම් දෙනවා - ජනාධිපති ලේකම් කාර්යාලය




නැවත ඇඳිරි නීතිය පනවන වේලාව ඉරිදා නිවේදනය කරනු ලබන බව ජනාධිපති ලේකම් කාර්යාලය නිවේදනය කර සිටිනවා. අද (20) පස්වරු 6.00 සිට ක්‍රියාත්මක ඇඳිරි නීතිය සඳුදා (23) වෙනිදා උදේ 6.00ට අවසන් වීමට නියමිතයි.

කොරෝනා වෛරසය පාලනය කිරීම සඳහා ගනු ලබන තීරණයන්ට අනුව විනෝද චාරිකා, වන්දනා ගමන් සහ දිවයිනට පැමිණ සිටින විදේශීය සංචාරක කණ්ඩායම්වල ගමන් බිමන් වහාම බලපැවැත්වෙන පරිදි අද සිට තහනම් කර ඇත. 

මහජනයා සමූහ වශයෙන් විවිධ ස්ථානවල එක් රැස්වීම රෝග ව්‍යාප්තියට ප්‍රධාන හේතුවක් බව හඳුනාගෙන ඇත. එසේ වුවද විදේශීය සංචාරකයන් කණ්ඩායම් වශයෙන් රට තුළ ගමන් බිමන් කිරීම දක්නට ලැබෙන බවයි ජනාධිපති ලේකම් කාර්යාලය සඳහන් කර සිටින්නේ. එබැවින් එම සියලු දේ වහාම අත්හිටුවන ලෙස රජය ජනතාවට දැනුම් දී සිටියි.

ජනතාව රැස්වන ස්ථානවල මීටරයකින් පමණ පුද්ගල දුරස්ථතාව පවත්වා ගන්නැයි රජය ජනතාවගෙන් දැඩිව ඉල්ලා සිටී. බස්රිය සහ දුම්රිය සේවා ක්‍රියාත්මක  අවස්ථාවලද මේ පිළිවෙත අනුගමනය කළ යුතු බවයි එම නිවේදනයේ දැක්වෙන්නේ. එමෙන්ම බස් රියෙන් සහ දුම්රියෙන් මගීන් ගෙන යා හැක්කේ ඒවායේ ගමන් කළ හැකි බවට නිශ්චය කර ඇති සංඛ්‍යාවෙන් හරි අඩක් පමණි.

අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය සහ වෙනත් භාණ්ඩ හිඟයකින් තොරව රට පුරා බෙදා හැරීමට විධිවිධාන සලසා තිබේ. ජනතාව අපහසුතාවට පත් නොවන අයුරින් භාණ්ඩ බෙදාහරින්නැයි සතොස ඇතුළු වෙළඳ ආයතන වෙත උපදෙස් දී ඇති බවයි ජනාධිපති ලේකම් කාර්යාලය සඳහන් කලේ.