Saturday, May 4, 2024

General line - 0115112241

කොරෝනා මාරයා අදත් ඉතාලියේ ජිවිත 627ක් බිළිගනියි : ලොවපුරා මරණ සංඛ්‍යාව 11,000 ඉක්මවයි




ගතවූ පැය 24 තුලදී ඉතාලියේ කොරෝනා වෛරසයෙන් පුද්ගලයින් 627 දෙනෙක් ජිවිතක්ෂයට පත්ව ඇති බව එරට සෞඛ්‍ය අංශ නිවේදනය කර සිටිනවා. එක් දිනක්‌ තුලදී කොරෝනා වෛරසයෙන් හේතුවෙන් රටක මිය ගිය වැඩිම පුද්ගලයින් සංඛ්‍යාව මෙය බවයි දත්ත වාර්තා පෙන්නුම් කරන්නේ. ඒ අනුව කොරෝනා වෛරසයෙන් ඉතාලියේ ජිවිතක්ෂයට පත්ව ඇති මුළු පුද්ගලයින් ගණන 4,032ක්.

ඒ අනුව ලොව පුරා මේ වන විට කොරෝනා වෛරසය හේතුවෙන් ජිවිතක්ෂයට පත්ව ඇති මුළු පුද්ගලයින් සංඛ්‍යාව 11,113ක් වන අතර වාර්තා වන රෝගීන් සංඛ්‍යාව 263,071 ක් වනවා.

මේ වන විට ඉතාලියෙන් වාර්තා වන මුළු කොරෝනා රෝගීන් සංඛ්‍යාව 47,021 ක් බවයි එරට සෞඛ්‍ය බලධාරින් සඳහන් කරන්නේ.

ඉතාලියේ මේ දකවා ජිවිතක්ෂයට පත්ව ඇති පුද්ගලයින් ගෙන් සීයයට 70 ක ප්‍රතිශතයක්‌ පිරිමි පුද්ගලයින් බව වෛද්‍ය බලධාරින් සඳහන් කර සිටියි.

චීන පර්යේෂකයින් සඳහන් කරන්නේ කොරෝනා වෛරසයෙන් වැඩි වශයෙන් ජිවිතක්ෂයට පත්ව ඇත්තේ පිරිමි පුද්ගලයින් බවයි.  දත්ත අනුව බැලු කළ මුළු මරණ සංඛ්‍යාවෙන් තුනෙන් දෙකක් බව ඔවුන් සඳහන් කර සිටියි.