Saturday, May 4, 2024

General line - 0115112241

කොරෝනා රෝග ලක්ෂණ දින 14 කට පෙර පෙන්නුම් කරන අයුරු විද්‍යාඥයින් සොයා ගනියි - ඔබත් අවධානයෙන් සිටින්න




කොරෝනා වෛරසය මිනිස් සිරුරට ඇතුල්වී එහි රෝග ලක්ෂණ පෙන්නුම් කිරීමට දින 14ක කාලයක් ගත වන බවයි වෛද්‍යවරුන් සඳහන් කර සිටින්නේ. නමුත් පාචනය, වමනය සහ ආහාර රුචිය නැතිවීම වැනි ආහාර ජීර්ණ පද්ධතියේ ඇතිවන ගැටළු කොරෝනා වෛරසයේ මුලික රෝග ලක්‍ෂණය බව අධ්‍යයනයකින් හෙළි වී තිබෙනවා. 

කොරෝනා වෛරසය පළමුවෙන් වාර්තා වූ  චීනයේ වුහාන් නගරයේ රෝගීන් 204 දෙනෙක් යොදා ගනිමින් සිදුකළ සමීක්ෂණයකින් හෙළිවී ඇත්තේ ඉන් රෝගීන් 99 දෙනෙකුට (48.5%) ඉහත සඳහන් රෝග ලක්ෂණ පෙන්නුම් කර ඇති බවයි. චීන පර්යේෂකයන් විසින් වයස අවුරුදු 55 ක් වූ පිරිමින් 107 ක් සහ කාන්තාවන් 94 දෙනෙකු යොදා ගෙන මෙම පර්යේෂණය සිදුකර ඇත.

එම රෝගීන් ගෙන් මුලික රෝග ලක්ෂණ ලෙස ආහාර රුචිය අඩුවූ බවට සීයයට 83ක් ද, පාචනය ඇතිවූ බවට රෝගීන් ගෙන් සීයයට 27ක් ප්‍රකාශ කර ඇති බවයි පර්යේෂකයින් සඳහන් කර සිටින්නේ.

මෙම පර්යේෂණය සඳහා යොදා ගනු ලැබූ පිරිස ඉකුත් ජනවාරි 18 ත් පෙබරවාරි 28 දක්වා කාලය තුළ කොරෝනා වෛරසය වැළදී ඇති බවට සිදුකරන ලද පරීක්‍ෂණ වලදී හෙළිවී ඇත. 

" රෝගීන් 105 දෙනෙක් ගෙන් 85 දෙනෙකු සඳහන් කර ඇත්තේ තමන්ට පළමුව හුස්ම ගැනීමේ අපහසුවක් පෙන්නුම් කළ බවයි. අනෙක් රෝගීන් 20 දෙනාට එවැනි රෝග ලක්ෂණ මුලිකව පෙන්නුම් කර නොමැති බවයි පර්යේෂකයින් සඳහන් කර සිටින අතර රෝගයේ බරපතලකම වැඩිවීමත් සමඟ ආහාර ජීර්ණයේ ගැටළු පැන නැගෙන බවයි අධ්‍යනයේදී අනාවරණය වී ඇත්තේ.

ආහාර ජිර්ණයේ මුලික රෝග ලක්ෂණ ඇතිව කොරෝනා වෛරසයට ගොදුරුවූ රෝගීන් ගෙන් තුනෙන් එකක් (34.3%) මාර්තු මස 05 වෙනිදා වන විට සුවය ලබා රෝහලෙන් පිටව ගොස් ඇති බවයි විද්‍යාඥයින් සඳහන් කර සිටින්නේ.

මුලික රෝග ලක්ෂණ ලෙස ආහාර ජීර්ණ ගැටළු සහිතව කොරෝනා වෛරසය වැළදුණු රෝගීන් බහුතරයක් මුලික රෝග ලක්ෂණ ලෙස ශ්වසන ආබාධ ඇති බවට සඳහන් කළ රෝගීන්ට පෙර කොරෝනා වෛරසයෙන් සුවය ලබා ඇති බව පර්යේෂකයින් සඳහන් කර සිටියි.

චීන පර්යේෂකයන් විසින් කරන ලද මෙම අධ්‍යයනය American Journal of Gastroenterology හි පළකර ඇති අතර ඔවුන් එහි වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ කොරෝනා වෛරසයේ මුලික රෝග ලක්ෂණයක් ලෙස ආහාර අරුචිය, පාචනය වැනි ආහාර ජීර්ණ පද්ධතියේ ගැටළු ද පෙන්නුම් කිරීමේ බහුලතාවයක් පෙන්නුම් කර සිටින බවයි.

කැලිෆෝනියා සරසවියේ මහාචාර්ය Dr Brennan Spiegel සඳහන් කර සිටින්නේ කොරෝනා වෛරසය සම්බන්ධයෙන් රෝග විනිශ්චය කිරීමට මෙම අධ්‍යනය බෙහෙවින් උපකාරී වන බවයි. 

" කොරෝනා වෛරසයට ගොදුරුවන පුද්ගලයින්ට මේ හේතුවෙන් කල් තියා ප්‍රතිකාර ලබා දිය හැකි බවත්, රෝග ලක්ෂණ පෙන්නුම් කිරීමට ප්‍රමාද වන පුද්ගලයින් ගෙන් අන් අයට එය සම්ප්‍රේෂණය වීම අවම කිරීම සඳහා ඔවුන්ව නිරෝධායනය ක්‍රියාවලියට යොමු කිරීමේ වාසියද මින් ලබා ගත හැකි බවයි" ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියේ.