Saturday, May 4, 2024

General line - 0115112241

ඇඳිරි නීතිය කඩ කළ 9466ක් පොලිස් අත්අඩංගුවට - පොලීසියෙන් මහජනතාවට පණිවිඩයක්




ඇඳිරි නීතිය ප‍්‍රකාශයට පත් කළ ඉකුක් 20 වනදා සිට මේ දක්වා කාලය තුලදී ඇඳිරි නීතිය කඩකළ පුද්ගලයින් 9,466 දෙනෙකු පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. 

මෙම කාලය තුලදී පොලිස් භාරයට ගෙන ඇති රථවාහන සංඛ්‍යාව 2,332 ක්. අද පෙරවරු 06 න් අවසන් වූ ගතවූ පැය 24 තුලදී ඇඳීරි නීතිය කඩකළ පුද්ගලයින් 1,017 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. 

එම පුද්ගලයින්ට අයත් රථවාහන 254 ක්ද, සිය භාරයට ගත් බවයි පොලිස් මූලස්ථානය පැවසුවේ. දිනකදී අත්අඩංගුවට ගැනුණු වැඩිම පුද්ගලයින් සංඛ්‍යාවද මෙය බව පොලිස් නීති කොට්ඨාභය භාර නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ ප‍්‍රකාශ කළා. 

ඇඳිරි නීතිය කඩකරන පුද්ගලයින් අත්අඩංගුවට ගැනීම සඳහා පොලීසිය සහ යුද හමුදාව එක්ව සිදු කරන මෙහෙයුම් තවදුරටත් කි‍්‍රයාත්මකයි. ප‍්‍රධාන මාර්ගවල මාර්ග බාධක ද යොදවමින් එවැනි පුද්ගලයින් අත්අඩංගුවට ගැනීම සඳහා ඔවුන් කටයුතු කරමින් සිටිනවා.  

විශ‍්‍රාමික පුද්ගලයින් හට සිය විශ‍්‍රාම වැටුප් ලබාගැනීම සඳහා මේවනවිට අවස්ථාව සලසා තිබෙනවා. වැඩිහිටියන් සඳහා සිය වැඩිහිටි හැඳුනුම්පත භාවිත කර ඖෂධ ලබාගැනීම සඳහා ඖෂධ අලෙවිසැල් ද මේවනවිට විවෘතව පවතිනවා. 

එවන් පසුබිමක සිය වැඩිහිටි හැඳුනුම්පත වෙනත් කටයුතු සඳහා අවභාවිත නොකරන ලෙසයි පොලිසිය ඉල්ලීමක් කළේ.