Saturday, May 4, 2024

General line - 0115112241

මිය ගිය තුන් වැන්නාට වෛරසය ආසාදනය වූයේ කෙසේදැයි සොයයි - දෙදෙනෙක් ගැන සැක




නව කොරෝනා වෛරසය ආසාදනය වීම හේතුවෙන් ඊයේ (01) මියගිය මෙරට 03 වන ආසාදිතයා රැඳී සිටි මරදාන, ආනල්ඞ් රත්නායක මාවතේ පිහිටි මහල් නිවාසවල වෙසෙන පුද්ගලයින් 1,500 ක් පමණ  නිරෝධායනයට ලක් කර තිබෙනවා.

ඒ සම්බන්ධයෙන් කරුණු දැක් වූ කොළඹ මහ නගර සභාවේ ප‍්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී රුවන් විජයමුණි කියා සිටියේ අදාළ ආසාදිතයාගේ සිද්ධිය වාර්තා වූ වහාම ඔහු පදිංචිව සිටි ස්ථානය අවට සියලූම ස්ථාන නිරෝධායන කටයුතු වෙනුවෙන් සූදානම් කළ බවයි. අදාළ ආසාදිතයා දින ගණනාවක් අසනීප තත්ත්වයෙන් සිට ඇති බැවින් අසල්වැසියන් සහ ඥාතීන් විශාල පිරිසක් ඔහුව බැලීමට පැමිණ ඇති බවද වාර්තා වූ බවයි සඳහන් කළේ. 

නව කොරෝනා වෛරසය ආසාදනයවීමෙන් ඊයේ මියගිය මෙම පුද්ගලයාගේ බෑනා විදෙස්ගතව සිට පැමිණි අයෙකු බවට අනාවරණ වී ඇති බවයි මෙහිදී වැඩිදුරටත් ප‍්‍රකාශ කෙරුණේ. එමෙන්ම තවත් ඥාති පුද්ගලයෙකු ද ඉන්දියාවේ සිට පැමිණ ගිහින් ඇති බවත් අනාවරණය වී තිබෙනවා. ඔහුට වෛරසය ආසාදනය වී ඇත්තේ ඒ ආකාරයෙන් බවටයි දැනට සැක කෙරෙන්නේ.

ඊයේ මියගිය කොරෝනා ආසාදිතයාගේ අවසන් කටයුතු ජාත්‍යන්තර නිරෝධායන රෙගුලාසිවලට අනුව ඊයේ සිදු කෙරුණු බව ද මෙහිදී ප‍්‍රකාශ කෙරුණා.