Thursday, May 2, 2024

General line - 0115112241

අමෙරිකාවේ ඇතැම් ප්‍රාන්තවල සෞඛ්‍ය කාර්ය මණ්ඩයලත් කොරෝනා රෝග වාහකයින් වෙලා




පැය 24 ක් තුළදී අමෙරිකාවේ නිව්යෝර්ක් ප‍්‍රාන්තයෙන් වාර්තා වූ වැඩිම කොරෝනා මරණ සංඛ්‍යාව ඊයේ (08) වාර්තා වුණා.

ඊයේ දිනයේ පමණක් නිව්යෝර්ක් ප‍්‍රාන්තයෙන් වාර්තා වූ කොරෝනා මරණ සංඛ්‍යාව 779 ක්. එමෙන්ම නව කොරෝනා ආසාදිතයින් එක්ලක්ෂ පනස්දහසක් ද ඊයේ දිනයේ එම නගරයෙන් වාර්තා වුණා. මේ වනවිට නිව්යෝ්ර්ක් ප‍්‍රාන්තයෙන් වාර්තා වූ මුළු කොරෝනා මරණ සංඛ්‍යාව 6,268 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. 

මේ අතර, කෝවිඞ් 19 හෙවත් නව කොරෝනා වෛරසය දේශපාලනීකරණය කිරීමට අමෙරිකාව උත්සාහ නොකළ යුතු බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් ටෙඩ්‍රෝස් ඇඩනම් ප‍්‍රකාශ කර තිබෙනවා. ඒ, ලෝක සෞඛ්‍ය සංවිධානයයට ලබා දෙන මූල්‍ය අරමුදල් කප්පාදු කරන බවට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට‍්‍රම්ප් සිදු කළ තර්ජනාත්මක ප‍්‍රකාශයට ප‍්‍රතිචාර දක්වමින්.

මෙම අවස්ථාවේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ කි‍්‍රයාවලිය ඇගයිය යුතු බවත් එක්සත්ව සිටීම වැදගත් වන බවත් එහි අධ්‍යක්ෂ ජනරාල්වරයා වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා. 

කෙසේ වෙතත්, අමෙරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට‍්‍රම්ප් චෝදනා කරන්නේ ලෝක සෞඛ්‍ය සංවිධානය චීනයට පක්ෂපාතීව කටයුතු කරන බවයි. මෙම අර්බුදකාරී අවස්ථාවේ ලෝක සෞඛ්‍ය සංවිධානය සිය ප‍්‍රමුඛතා හඳුනාගත යුතු බව ද ඩොනල්ඞ් ට‍්‍රම්ප් ප‍්‍රකාශ කර තිබෙනවා.

මේ අතර, අමෙරිකාවේ මිචිගන් ප‍්‍රාන්තයේ රෝහල් කිහිපයකදී නව කොරෝනා පරීක්ෂණයට මුහුණ දුන් සෞඛ්‍ය කාර්යය මණ්ඩල සේවකයින් 700 දෙනෙකුට එම වෛරසය වැළදී ඇති බව තහවුරු කරගෙන තිබෙනවා. කෙසේ වෙතත්, අමෙරිකාවේ බොහෝ වෛද්‍ය මධ්‍යස්ථානවල මේ වනවිට නව කොරෝනා පරීක්ෂණ සිදු කරන්නේ ඉතා දරුණු රෝග ලක්ෂණ තිබෙන පුද්ගලයින්ට පමණයි.

ඒ හේතුවෙන්, වෛද්‍යවරුන් සහ හෙදියන් ඇතුළු රෝහල් කාර්යය මණ්ඩල සාමාජිකයින් බොහෝ පිරිසක්, වෛරසය ආසාදනය වී දරුණු අතට හැරෙන තුරුම තමාට කොරෝනා ආසාදනය වී ඇතැයි නොදැන රෝග වාහකයින් ලෙස කටයුතු කරන බව ද එරට සෞඛ්‍ය අංශ අනතුරු අගවා තිබෙනවා.

මේ අතර, ලොව පුරා කොරෝනා ආසාදිතයින් ගණන පහලොස් ලක්ෂය ඉක්මවා තිබෙනවා. මේ වනවිට ලොව පුරා වාර්තාවන කොරෝනා ආසාදිතයින් ගණන පහළොස් ලක්ෂ 9,435 ක්. ලොව පුරා කොරෝනා මරණ 88,333 ක් ද වාර්තා වනවා.

අමෙරිකාවේ කොරෝනා ආසාදිතයින් හාරලක්ෂ 27,101 දෙනෙකු දක්වා ඉහළ ගොස් ඇති අතර එරටින් වාර්තා වන කොරෝනා මරණ සංඛ්‍යාව 14,668 ක්.