Tuesday, May 7, 2024

General line - 0115112241

චීනයේ නම ගිය විද්‍යාඥවරියක් කොරෝනා ගැන සොයා ගත් ආන්දෝලනාත්මක හෙළිදරව්වක් බලධාරින් සඟවයි




නව කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය ආරම්භයේදීම ඒ සම්බන්ධයෙන් පරීක්ෂණ කොට එහි ජාන සංයුතිය සම්බන්ධයෙන් සාර්ථක විශේල්ෂණයක් සිදුකළ විද්‍යාඥවරියකට එම කරුණු හෙළි නොකරන්නැයි චීන බලධාරින් විසින් තර්ජනය කර ඇති බවට වාර්තා වනවා.

එම ජාන විද්‍යාත්මක කරුණු මත කොරෝනා වෛරසයේ ආරම්භයේදීම එන්නතක් නිපදවීමට සහ රෝග විනිශ්චය සම්බන්ධයෙන් කල් තියා කරුණු රැස් කර ගැනීමට තිබු අවස්ථාව මේ හේතුවෙන් අහිමිවූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර සිටින්නේ.

මාරාන්තික කොරෝනා වෛරසය චීනයේ වුහාන් නගරයේ ව්‍යාප්තිය ආරම්භ වීමත් සමග එය ලෝකයෙන් වසන් කිරිමට එරට බලධාරින් කටයුතු කළ බවට මෙය කදිම සාධකයක් බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ.

කොරෝනා වෛරසය පිළිබද මෙම පර්යේෂණ කටයුතු මෙහෙයවා ඇත්තේ වසංගත රෝග පිලිබඳ විද්‍යාඥවරියක් වන ෂි සෙන්ග්ලි විසින්ය. ඇය හඳුන්වනු ලබන්නේ “Bat Woman” යන අනවර්ථ නාමයෙනි.

ෂි සෙන්ග්ලි විද්‍යාඥවරිය වසර 16ක් පුරා වෙහෙසෙමින් ගුහාවන් තුල වෙසෙන වවුලන්ගේ තිබෙනවා වෛරස් සම්බන්ධයෙන් පර්යේෂණ සිදුකර තිබෙනවා.

වුහාන් නගරයෙන් පළමු වරට ශ්වසන රෝග ලක්ෂණ සහිත රෝගීන් වාර්තා වීමත් සමග බලධාරීන් ඇයව එම නගරයේ පිහිටි අධි ආරක්‍ෂිත රසායනාගාරයකට කැඳවා ඒ සම්බන්ධයෙන් පරීක්ෂණ සිදුකරන ලෙස දැනුම් දී තිබෙනවා. ඒ අනුව එහි ගිය ෂි සෙන්ග්ලි ඇතුළු ඇගේ කණ්ඩායමට දින තුනක් තුල එම වෛරසයේ ජානමය විශ්ලේෂණය සම්පුර්ණ කිරිමට සමත්ව ඇත.

වුහාන් සිට කිලෝමීටර් 1000ක් දුරින් පිහිටි දකුණු දිග චීනයේ යුනාන් ප්‍රාන්තයේ ගල් ගුහා තුල ජිවත් වන වවුල් විශේෂයක ගෙන් මෙම වෛරසය ඇතිවී තිබෙන බවත් ඊට සම්බන්ධ ජානමය ආකෘතිය පවා හෙළිකර ගැනීමට ඔවුන් සමත්ව තිබෙනවා.

එම වෛරසය 2002 වර්ෂයේදී චීනයෙන් ආරම්භ වී ලොව රටවල් 33ක් කරා ව්‍යාප්තවී ගිය සාර්ස් වෛරසයට සමාන බවට මෙහිදී කරුණු හෙළිවී ඇත.

දින 76ක කාලයක් වසා දමා තිබු වුහාන් නගරය තුල සිරවී සිටි චීන මාධ්‍යවේදියෙක් වන Gao Yu සඳහන් කර සිටියේ තමන් මේ සම්බන්ධයෙන් ෂි සෙන්ග්ලි විද්‍යාඥවරිය ගෙන් එම අවස්ථාවේදී සම්බන්ධ වෙමින් කරුණු රැස්කර ගත් බවයි.

" ඇය මට ප්‍රකාශ කළා ජනවාරි 02 වෙනිදා වන විට වෛරසය සම්බන්ධ ජාන අනුක්‍රමණය සිදුකොට එහි පරීක්ෂණ අවසන් කළා කියලා.නමුත් එදිනම වුහාන් වෛරස සම්බන්ධයෙන් වන රසායනාගාරයේ ප්‍රධානි Yanyi Wang සිය සේවක කාර්ය මණ්ඩලයට ඊමේල් ලිපියක්‌ යවමින් සඳහන් කර ඇත්තේ ඔවුන් විසින් සිදුකළ පර්යේෂණය සහ අනාවරණය කර ගත් කරුණු කිසිවෙකුට හෙළි නොකරන්නැයි දන්වා තිබෙනවා" යැයි මෙහිදී කරුණු අනාවරණය වී ඇත.

මහජන කැලඹීමක් ඇතිවන ආකාරයේ පුවත් පළ කළහොත් ඇයව අත්අඩංගුවට ගන්නා බවට බලධාරින් විසින් ඇයට අනතුරු අඟවා තිබෙන අතර ඒ වන විටත් වෛරසය සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ තොරතුරු හුවමාරු කළ වෛද්‍යවරුන් 08 දෙනෙකු චීන බලධාරින් විසින් අත්අඩංගුවට ගෙන තිබුණා.

වසංගතයට අදාළ කිසිදු පරීක්ෂණයක්, සායනික දත්ත, පරීක්ෂණ ප්‍රථිපල, නිගමන සමාජ මාධ්‍යවල පළ නොකළ යුතුබවත් එය රජයේ නිල මාධ්‍ය ඇතුළු කිසිදු මාධ්‍යයක් වෙත හෙළි කිරිම හෝ වෙනත් රසායනාගාර සමග හුවමාරු කරගැනීම සම්පුර්ණයෙන්ම තහනම් බවට චීන ජාතික සෞඛ්‍ය කොමිසම විසින් මේ සම්බන්ධයෙන් පරීක්ෂණ සිදුකළ රසායනාගාරයට දැනුම් දී තිබෙනවා.

පසුගිය මාසයේදී අන්තර්ජාලය ඔස්සේ පැවති සම්මන්ත්‍රණයකට එක්වෙමින් ෂි සෙන්ග්ලි විද්‍යාඥවරිය ප්‍රකාශ කර සිටියේ කොරෝනා වෛරසය මිනිසාගෙන් තවත් මිනිසෙකුට සම්ප්‍රේෂණය වන බවට සිය කණ්ඩායම පසුගිය ජනවාරි 14 වෙනිදා අනාවරණය කර ගත් බවයි.

කෙසේ වුවත් ඉන් දින 06කට පසුව කොරෝනා වෛරසය මිනිසුන් අතර සම්ප්‍රේෂණය නොවන බවට චීනයේ ජාතික සෞඛ්‍ය කොමිසම ප්‍රකාශ කර සිටිය අතර ඔවුන්ගේ ප්‍රකාශයට සහය පළකරමින් ලෝක සෞඛ්‍ය සංවිධානයද ට්විටර් සටහනක් එදින පළකර තිබෙනවා. එයට හේතුව වුයේ වෛරස ව්‍යාප්තිය ආරම්භ වී දින කිහිපයක් යන තුරු කිසිදු රෝගියෙක් හමු නොවීම හේතුවෙන්. නමුත් එක්වරම රෝගීන් සංඛ්‍යාව සැලකිය යුතු ලෙස වැඩිවීමත් සමග  ෂි සෙන්ග්ලි විද්‍යාඥවරිය ඇතුළු කණ්ඩායම සොයා ගත් කරුණු සත්‍ය බවට තහවුරුවී තිබෙනවා.

පසුගිය දශක 03 තුලදී ලොව පුරා ව්‍යාප්ත වූ ප්‍රධාන පෙලේ වසංගත තත්ත්වයන් 07කට මුලාරම්භය වී ඇත්තේ වවුලන් බවයි එම විශේෂඥවරිය සඳහන් කර සිටියේ.

මෙම කොරෝනා වෛරසය මිනිසුන් විසින් නිර්මාණය කරන එකක් බවට පැතිර යන කතාව අසත්‍ය බව ප්‍රකාශ කරන ඇය, මෙම වෛරසය වුහාන් හි පිහිටි අධි ආරක්ෂිත රසායනාගාරයකින් පිටත ලෝකයට ව්‍යාප්ත වූ බවට වන චෝදනා අසත්‍ය බවට ද ප්‍රකාශ කර සිටිනවා.

" වවුලන් ආශ්‍රයෙන් මෙවැනි වසංගත තත්ත්වයක් ඇතිවෙයි කියලා මම කල් තියාම අනතුරු අඟවල තිබුනත් එය චීනයේ වුහාන් නගරයෙන් ආරම්භ වෙයි කියා කිසිකලක සිතුවේ නැහැ" ඇය Scientific American සඟරාව සමග ප්‍රකාශ කර තිබුණා.