Wednesday, May 8, 2024

General line - 0115112241

ශූද්ධෝත්තම ෆ‍්‍රැන්සිස් පාප් වහන්සේ දේව මෙහෙය අවසානයේ කොරෝනා ගැන පණිවුඩයක් දෙයි




කොවිඞ් 19 හෙවත් නව කොරෝනා වෛරසය පැතිර යාම වලක්වාලීම සදහා විවිද සීමා පනවනු ලැබ තිබියදී ලොවපුරා කිතුනුවන් එම සීමාවලට යටත්ව අද (12) පාස්කු ඉරිදාව සමරනවා.

ශූද්ධෝත්තම ෆ‍්‍රැන්සිස් පාප් වහන්සේ විසින් මෙහෙයවන ලද පාස්කු ඉරිදා දේව මෙහෙය පැවැත්වුණේ වතිකානයේ ශාන්ත පීතර බැසිලිකා දෙව්මැදුරේදීයි. වෙනදා මෙම දේව මෙහෙයට දස දහස් සංඛ්‍යාත පිරිස් සහභාගී වුවද අද ඊට සහභාගී වී සිටියේ දෙව්මැදුරේ සේවකයන් සහ ආරාධිතයන් කිහිපදෙනෙකු පමණයි.

කෙසේ වෙතත් මෙම දේව මෙහෙය සජීව ලෙස නැරඹීමට ලොව පුරා කිතුනුවන්ට අන්තර්ජාලය ඔස්සේ පහසුකම් සපයා තිබුණා.

ශූද්ධෝත්තම ෆ‍්‍රැන්සිස් පාප් වහන්සේ දේව මෙහෙය අවසානයේ කියා සිටියේ නව කොරෝනා වෛරසය සම්බන්ධයෙන් ජනතාව බිය විය යුතු නොමැති බවයි. නව කොරෝනා වෛරසය ලෝකයට රැගෙන ආ පණිවිඩය වටහා ගත යුතු බවද මරණය අභිමුවදීත් ජීවිතය පිළිබඳ පණිවිඩකරුවන් විය යුතු බවද ශූද්ධෝත්තම ෆ‍්‍රැන්සිස් පාප් වහන්සේ මෙහිදී කියා සිටියා. 

ජර්මනියේ දේවාස්ථානයක අද පාස්කු ඉරිදා දේව මෙහෙය සිදු කෙරුණේ ආසනවල බැතිමතුන්ගේ ‍ඡායාරූප රඳවායි.

පොලන්තයේදී පියතුමන් අශ්ව කරත්තයක නැග නිවෙස් වෙත යමින් නිවෙස් ඉදිරිපිට සිටින බැතිමතුන්ට ශූද්ධ ජලය ඉසිමින් ආශීර්වාද කර තිබෙනවා. 

මේ අතර නව කොරෝනා ආසාධිතව සිට බි‍්‍රතාන්‍ය අග‍්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් මේ වන විට සුවය ලබමින් සිටින බවයි බී බී සී ලෝක සේවය පවසන්නේ. සිය ජීවිතය වෛද්‍යවරුන් ඇතුලූ රෝහල් කාර්ය මණ්ඩලයට ණය ගැතිවන බව අග‍්‍රාමාත්‍යවරයා ප‍්‍රකාශ කර ඇතැයිද බී බී සී ලෝක සේවය වාර්තා කළා.

ලොවපුරා මේ වන විට හදුනාගෙන ඇති මුලූ නව කොරෝනා ආසාධිතයන් ගණන දහහත් ලක්ෂ 81,053ක්. ලොවපුරා සිදු ඇති නව කොරෝනා මරණ ගණන එක්ලක්ෂ 8,854ක් වනවා.