Wednesday, May 8, 2024

General line - 0115112241

සුකර උණට වඩා 10 ගුණයකින් කොරෝනාව මාරාන්තික බව ලෝක සෞඛ්‍ය සංවිධානය කියයි




පුද්ගලයින් ලක්ෂ දෙකකට අධික පිරිසකට මරු කැඳවමින් ලොවපුරා ව්‍යාප්ත වූ සුකර උණට වඩා කොරෝනා වෛරසය මාරාන්තික බවත් මෙම වසංගතය නැවැත්වීමට අනිවාර්යෙන්ම ඒ සඳහා එන්නතක් සොයා ගැනීම අත්‍යාවශ්‍ය කරුණක් වී ඇති බවට ලෝක සෞඛ්‍ය සංවිධානය පවසනවා.

ජිනීවා හි පිහිටි ලෝක සෞඛ්‍ය සංවිධානයේ මුලස්ථානයේදී ප්‍රවෘත්ති සාකච්ජාවකට එක්වෙමින් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානි Tedros Adhanom ප්‍රකාශ කර සිටියේ ලොවපුරා ව්‍යාප්ත වෙමින් පවතින එම වෛරසය සම්බන්ධයෙන් අධ්‍යයනය කරනා බවයි.

ප්‍රතිශතයක් ලෙස ගත් කළ කොරෝනා වෛරසය වැලදී ඇති බවට තහවුරු වූ රෝගීන් ගෙන් සීයයට 6.4ක පිරිසක් ජිවිතක්ෂයට පත්ව ඇත. නමුත් සුකර උණ වැළදුණු රෝගීන් ගෙන් ජිවිතක්ෂයට පත්වීමේ අවධානමක් තිබුනේ සීයයට 1.1 කට පමණක් බවයි ලෝක සෞඛ්‍ය සංවිධානය සඳහන් කර සිටින්නේ.

ඇතැම් රටවල දින කිහිපයක් ඇතුලත කොරෝනා රෝගයේ ව්‍යාප්තිය විශාල වශයෙන් වැඩිවන බව පැවසූ ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂක ජනරාල්වරයා වෛරසයට නිරාවරණය වූ රෝගින් සොයා ගැනීම, ඔවුන්ව හුදෙකලා කිරීම, ඔවුන් සමග සම්බන්ධකම් පැවැත්වූ අයවළුන් සොයා ඔවුන්වද හුදෙකලා කිරීම යන කරුණු සම්බන්ධයෙන් ලොව බොහෝ රටවල් ක්‍රියා කරන්නේ මන්දගාමී ස්වරූපයෙන් බවයි.

මේ වන විට කොරෝනා වෛරසය මර්ධනය කිරීමට ගෙන ඇති පියවර හේතුවෙන් ලොවපුරා ජනගහණයෙන් හරි අඩකට අධික පිරිසක් නිවෙස් වලට පමණක් සීමාවී ඇත.

කෙසේ වුවත් ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂක ජනරාල්වරයා සඳහන් කර සිටින්නේ කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය වේගවත් වුවත් එහි අවම වීම ඉතා සෙමින් සිදුවන බවයි. ඕනෑම මොහොතක වෛරසයේ ව්‍යාප්තිය වැඩි වීමේ අවධානමක් ඇති බවයි ඔහු පෙන්වා දෙන්නේ.

වෛරසයේ ව්‍යාප්තිය පාලනය කිරීමට ලොව රටවල් රැසක් සිය රටවල් වසා දමා ජනතාව නිවෙස් වලට සිමා කරමින් පනවා ඇති නියෝග ඉවත් කිරීමට මේ වන විට පෙළඹී සිටින බවත් එය නුවණට හුරු කාරණාවක් නොවන බවයි ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂක ජනරාල්වරයා කියා සිටියේ.

එවැනි ලිහිල් කිරීමක් සිදුකරන්නේ නම් අනිවාර්යෙන් කොරෝනා වෛරසය පාලනය කිරීමට අවශ්‍ය සියලු පියවර අදාළ රටවල් විසින් ගෙන තිබීම සහ නිවැරදි මහජන සෞඛ්‍ය ක්‍රියා මාර්ග ගෙන තිබීම අනිවාර්ය බව සඳහන් කර සිටියා.