Sunday, April 28, 2024

General line - 0115112241

පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයේ අනුස්මරණය වෙනුවෙන් මිනිත්තු දෙකක නිශ්ශබ්දතාවයක් සුරකින්න : කාදිනල් හිමියන් ඉල්ලයි




රටේ පවතින තත්ත්වය සැලකිල්ලට ගනිමින් අප්‍රේල් 21 වෙනිදා එල්ලවූ පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයේ අනුස්මරණ උත්සව පෙර සැලසුම් කළ පරිදි සිදු නොකිරිමට තීරණය කළ බව අති උතුම් මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණන් ප්‍රකාශ කර සිටිනවා.

ඒ වෙනුවෙන් එළඹෙන අප්‍රේල් 21 වෙනිදා පෙරවරු 8.45ට නිවෙස් වල සිට මිනිත්තු දෙකක නිශ්ශබ්දතාවයක් සුරකමින් එම අනුස්මරණ අවස්ථාව සඳහා එක් වන ලෙස තමන් රටේ සියලු දෙනා ගෙන් ඉල්ලා සිටින බවයි කාදිනල් හිමිපාණන් ප්‍රකාශ කර සිටියා.

මෙම ප්‍රහාරයෙන් ජිවිත අහිමිවූ ලාංකිකයින් සිහිපත් කරමින් රටේ සියලු ආගමික ස්ථානවල එදින උදැසන 8.40 සිට මිනිත්තු දෙකක කාලයක් ඝාන්ඨාර නාද කරමින් මෙම අනුස්මරණ කටයුත්තට දායක වන ලෙස කාදිනල් හිමිපාණන් ඉල්ලා සිටියා.

එමෙන්ම උදෑසන 8.47 ට පහනක් දල්වමින් පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයෙන් මියගිය අයට ගෞරව කරන ලෙස තමන් සියලු දෙනා ගෙන් ඉල්ලා සිටින බවයි කාදිනල් හිමිපාණන් මෙහිදී කියා සිටියේ.

පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් සිදුකරනු ලබන විමර්ශන සම්බන්ධයෙන් ජනාධිපතිවරයා, අගමැතිවරයා ඇතුළු සියලු දෙනාට තමන් ස්තුතිවන්ත වන බව එතුමාණන් මෙහිදී ප්‍රකාශ කර සිටියා.

මෙම ප්‍රහාරයට සම්බන්ධ පුද්ගලයින් කවුරුන්ද යන්න ගැන සමාජය ඉදිරියේ හෙළිදරව් කළ යුතු බවත් ඒ සඳහා සිදුකරනු ලබන විමර්ශන නොකඩවා සිදුකිරිමට පියවර ගත යුතු බව උන්වහන්සේ කියා සිටියා.

එමෙන්ම පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයෙන් තුවාල ලැබූ පුද්ගලයින් දෙදෙනෙක් තවමත් රෝහල් ගතව සිටින බවත්, නිවෙස් තුල රෝගීව සිටින පිරිස 167ක් බව කාදිනල් හිමිපාණන් ප්‍රකාශ කර සිටියා.