Tuesday, May 7, 2024

General line - 0115112241

"නිවෙස් වලට වී ඉන්න බෑ, රට සම්පූර්ණයෙන් විවෘත කරනු"නිරෝධායන නීතියට එරෙහිව අමෙරිකානු ජනතාව වීදි දෙපසට රැස්වී විරෝධතාවයක




කොරෝනා ව්‍යාප්තිය හේතුවෙන් පනවා තිබෙන නිරෝධායන නීති ඉවත් කරන්නැයි අමෙරිකාව පුරා උද්ඝෝෂණ රැල්ලක් ඇරඹී තිබෙනවා.

වීදි වලට රැස්ව සිටිනා අමෙරිකානු ජනතාව උද්ඝෝෂණය කරමින් ඉල්ලා සිටින්නේ රට සම්පූර්ණයෙන්ම නැවත විවෘත කරමින්, සිය රැකියා සහ ව්‍යාපාර කිරීමට ඉඩ දෙන ලෙසටයි.

මෙම ඉල්ලීම සමාජ ජාලා මාධ්‍ය ඔස්සේද දැඩිව ප්‍රවර්ධනය වූ අතර එම ඉල්ලීම් වලට කන් දෙමින් ප්‍රාන්ත ගණනාවක් නැවත විවෘත කිරීමට අමෙරිකා එක්සත් ජනපදය කටයුතු කළා.

එරට වැඩිම කොරෝනා ව්‍යාප්තිය සහිත, කොරෝනා හේතුවෙන් දිනකට මිනිසුන් දහසක් පමණ මිය ගිය නිවුයෝර්ක් ප්‍රාන්තයට තවදුරටත් නිරෝධායන නීති පනවා තිබේ.

කෙසේ වෙතත් නිවුයෝර්ක් ජනතාව මග දෙපසට රැස්වෙමින් සිය නගරය විවෘත කරන ලෙසට විරෝධතාවක් සිදු කරමින් සිටිනවා. විරෝධතාකරුවන් විසින් ඉල්ලා සිටිනුයේ තමන්ට නැවතත් සිය රැකියා සහ ව්‍යාපාරයන්ගේ නිරත වීමට අවශ්‍ය බවත්, අමෙරිකාවේ ආර්ථිකය බිඳ වැටීමට ලබා දිය නොහැකි බවයි, ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිටින්නෙත් එම මතයේම බවත් කියවෙනවා.

මේ අතර, ජනතාව කොතෙක් උද්ඝෝෂණ කළ ද නව කොරෝනා වෛරස ව්‍යාප්තිය හේතුවෙන් පවනවා ඇති නීති ලිහිල් කිරීමට හෝ නිව්යෝර්ක් ප‍්‍රාන්තය කඩිනමින් යළි විවෘත කිරීමට ප‍්‍රායෝගිකව පියවර ගත නොහැකි බව, නිව්යෝර්ක් ආණ්ඩුකාර ඇන්ඩෲ ක්වොමෝ ප‍්‍රකාශ කර තිබෙනවා. 

ඔහු මේ බව පවසා ඇත්තේ, නව කොරෝනා වෛරස ව්‍යාප්තිය හේතුවෙන් නිවෙස්වල රැඳි සිටින ලෙස පනවා ඇති නීති ලිහිල් කරන ලෙස ඉල්ලමින් අමෙරිකානු ජනතාව වීදි බැස සිදු කරන උද්ඝෝෂණ සම්බන්ධයෙන් සිය අදහස ප‍්‍රකාශයට පත් කරමින්. 

ජනතාව උද්ඝෝෂණ රැළි කි‍්‍රයාත්මක කරන හේතු තමාට වටහාගත හැකි බවත්, නැවත රැකියාවලට යාමට අවශ්‍ය බව හෝ ආර්ථිකය ගොඩ නැංවීමට අවශ්‍ය බවට ඒත්තු ගැන්වීම සඳහා උද්ඝෝෂණ කිරීමේ අවශ්‍යතාවයක් නොමැති බවත් නිව්යෝර්ක් ආණ්ඩුකාරවරයා පවසා තිබෙනවා. 

කෙසේ වෙතත්, කොරෝනා ව්‍යාප්තිය අවම කිරීමට නම් මෙම නීති ලිහිල් කළ නොහැකි බවයි ඔහු වැඩිදුරටත් පෙන්වා දී ඇත්තේ. 

ගත වූ පැය 24 තුළ නිව්යෝර්ක් ප‍්‍රාන්තයෙන් කොරෝනා මරණ 478 ක් වාර්තා වී ඇති අතර, අපේ‍්‍රල් පළමුවනදා සිට දෛනිකව වාර්තා වූ අවම කොරෝනා මරණ ගණන එයයි. 

ගත වූ පැය 24 තුළ නිව්යෝර්ක් ප‍්‍රාන්තයේ අලූතින් හඳුනාගත් කොරෝනා රෝගීන් ගණන ද පෙර දිනයට වඩා සුළු අඩුවක් පෙන්නුම් කරන බව නිව්යෝර්ක් ආණ්ඩුකාරවරයා සඳහන් කළා.

මේ අතර, නව කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා නිව්යෝර්ක් ප‍්‍රාන්තයේ ආණ්ඩුකාර ඇන්ඩෲ ක්වෝමෝ අද දිනයේ ධවල මන්දිරයට පැමිණීමට නියමිත බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට‍්‍රම්ප් පවසනවා. 

ඔහු මේ බව ප‍්‍රකාශ කර ඇත්තේ කොරෝනා වෛරස ව්‍යාප්තිය පාලනය කිරීමේ කාර්යය සාධක බලකාය සමග ධවල මන්දිරයේදී පැවැත්වෙන දෛනික හමුවේදීයි. අමෙරිකානු උප ජනාධිපති මයික් පෙන්ස් ඊයේ දිනයේ අනෙකුත් ප‍්‍රාන්ත ආණ්ඩුකාරවරුන් අමතා කොරෝනා වෛරස ව්‍යාප්තියේ නවතම තත්ත්වයන් සම්බන්ධයෙන් විමසා බලා දත්ත ලබාගත් බව ද අමෙරිකානු ජනාධිපතිවරයා සඳහන් කර තිබෙනවා. 

කොරෝනා වෛරසයට අදාළ පරීක්ෂණ වේගවත් කිරීමට අවශ්‍ය සම්පත් ආණ්ඩුකාරවරුන් සතුව පවතින බව එමගින් තහවුරු කරගත් බවයි ඩොනල්ඞ් ට‍්‍රම්ප් වැඩිදුරටත් ප‍්‍රකාශ කළේ. 

ගත වූ පැය 24 තුළ අමෙරිකාවෙන් කොරෝනා මරණ 1,939 ක් වාර්තා වී ඇති අතර, එම කාලය තුළ එරටින් වාර්තා වූ කොරෝනා ආසාදිතයින් ගණන 28,123 ක්. ඒ අනුව මේ වනවිට අමෙරිකාවෙන් සමස්ත කොරෝනා මරණ 42,518 ක් සහ ආසාදිතයින් හත්ලක්ෂ 92,938 දෙනෙකු වාර්තා වනවා.

මේ අතර අමෙරිකා එක්සත් ජනපදයට සංක‍්‍රමණිකයින් පැමිණීම තාවකාලිකව අත්හිටුවමින් තමන් විධායක නියෝගයකට අත්සන් තබන බව අමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට‍්‍රම්ප් ප‍්‍රකාශ කර තිබෙනවා. 

ඔහු මේ බව සඳහන් කර ඇත්තේ, ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින්. කොරෝනා වෛරසය ව්‍යාප්තිය පාලනය කිරීම සහ අමෙරිකානු පුරවැසියන්ගේ රැකියා සුරක්ෂිත කිරීමේ අරමුණින් මෙම පියවර ගත් බවද ට‍්‍රම්ප් සඳහන් කර තිබෙනවා.