Tuesday, May 7, 2024

General line - 0115112241

සැතපුම් 200ක් දුර නිවසට පයින් ඇවිද ගිය 12 හැවිරිදි දැරියක් ජිවිතක්ෂයට




මිරිස් වගා බිමක සේවය කළ 12 හැවිරිදි දැරියක් සැතපුම් 200 ක් දුරකින් පිහිටි සිය නිවසට පයින් ගමන් කිරිමේදී ඇතිවූ අධික තෙහෙට්ටුව නිසා ජිවිතක්ෂයට පත්වීමේ පුවතක් ඉන්දියාවේ චැටිස්ගාර් ප්‍රාන්තයෙන් වාර්තා වනවා.

ජමෝලා මඩ්කම් නම් මෙම 12 හැවිරිදි දැරිය ඉන්දියාවේ තෙලන්ගනා ප්‍රාන්තයේ පිහිටි මිරිස් වගා බිමක සිය ඥාති සහෝදරයා සමග සේවය කර තිබෙනවා.

කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා පනවා තිබු නීති අප්‍රේල් 14 වෙනිදා ඉවත් කිරිමට පෙර සැලසුම් කර තිබුනත් එය යලි මැයි මස 03 වෙනිදා දක්වා දිර්ඝ කිරිම හේතුවෙන් ඇය ඇතුළු 11 දෙනෙකුගේ රැකියා අහිමිවී තිබෙනවා.

තව දුරටත් එහි රැඳී සිටීමෙන් ප්‍රයෝජනයක් නොමැති බැවින් ජම්ලෝ, අගේ ඥාති සහෝදරයා ඇතුළු 11 දෙනෙක් සිය නිවෙස් පිහිටි චැටිස්ගර් ප්‍රාන්තය බලා පාගමනින් යාමට ගමන් අරඹා තිබෙනවා. ඒ ඉකුත් අප්‍රේල් මස 15 වෙනිදායි.

තමන් සේවය කළ වගා බිමේ සිට නිවෙස් පිහිටි සැතපුම් 200ක දුරක් ඔවුන් පොලිස් මාර්ග බාධක මග හැරීමේ අරමුණින් කඳුකර ප්‍රදේශ ඔස්සේ පුරා දින 03ක් ගමන් කර ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කර සිටියේ.

ආහාර හිඟකම සහ ගමනේන් ඇතිව තිබු අධික තෙහෙට්ටුව නිසා මෙම 12 හැවිරිදි දැරිය සිය නිවසට ලඟා වීමට පැයක පමණ දුරක් තිබියදී ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.

සිය නිවෙස් වලින් බොහෝ දුර බැහැර ප්‍රදේශවල කුලී රැකියා සඳහා ගොස් සිටින දහස් ගණන් කම්කරුවන් ඉන්දීය රජය ක්‌ෂණිකව ගනු ලැබූ තීරණ හේතුවෙන් දැඩි ව්‍යාකුලත්වයට පත්වූ බවට වාර්තා රැසක් පසුගිය කාල සීමාවේදී මාධ්‍ය මගින් වාර්තා කර තිබුණා.

කෙසේ වුවත් මියගිය ජම්ලෝ මැඩ්කම් කොරෝනා ආසධිතයෙක් නොවන බවට වෛද්‍ය පරීක්ෂණ වලදී තහවුරු වී ඇති අතර ඇය සමග පැමිණි ඇගේ සෙසු පිරිස නිරෝධායනයට යොමු කළ බවට ප්‍රාන්ත සෞඛ්‍ය බලධාරින් උපුටා දක්වමින් එරට මාධ්‍ය වාර්තා කර සිටිනවා.