Monday, April 29, 2024

General line - 0115112241

අන්තවාදී ප‍්‍රචණ්ඩත්වයට ඉඩ නොතබන බවට ජනපතිගෙන් යළි සහතිකයක්




අන්තවාදී ප‍්‍රචණ්ඩත්වයට කිසි විටෙකත් ඉඩ නොතබන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අවධාරණය කරනවා. පාස්කු ඉරු දින ත‍්‍රස්ත ප‍්‍රහාරයට වසරක් පිරීම නිමිත්තෙන් ජනාධිපතිවරයා නිකුත් කළ පණිවුඩයක මේ බව සඳහන්. 

පාස්කු ප‍්‍රහාරයෙන් ජීවිත අහිමි වූවන්ගේ සහ බරපතළ තුවාල ලැබූවන්ගේ පවුල්වල සාමාජිකයන්ට, ඉන් බලවත් කම්පනයට පත්වූ කතෝලික ජනතාවට සහ සමස්ත ශී‍්‍ර ලංකාවාසීන් හට සිය සංවේගය පුද කර සිටින බවයි ජනාධිපතිවරයා නිකුත් කළ එම පණිවුඩයේ දැක්වෙන්නේ. 

ප‍්‍රහාරයෙන් මියගිය බහුතරය කතෝලික බැතිමතුන් වුව ද එය ඔවුන් පමණක් නෙව සමස්ත ශ‍්‍රී ලාංකීය ජනතාවම ඉලක්ක කරගත් ත‍්‍රස්තවාදී කි‍්‍රයාවක් බව ද ජනාධිපතිවරයා පෙන්වා දෙනවා. කුමන මතවාදයක නාමයෙන් එවැනි මිනිස් ඝාතන කළ ද එය මනුෂ්‍ය වර්ගයාටම නිගාවක් බවයි ජනාධිපතිවරයා වැඩිදුරටත් පෙන්වා දෙන්නේ. 

පාස්කු ඉරිදා මිනිස් ඝාතනය පහසු කළ පසුබිම නිර්මාණය වූයේ ජාතික ආරක්ෂාව අමතක කොට ආරක්ෂක සැලසුම් සහ විධිවිධාන අත්හැර තිබූ බැවිනි. එවැනි අරාජික පරිසරයක අන්තවාදය සහ ත‍්‍රස්තවාදය හිස එසවීම අරුමයක් නොවන බව ද ජනාධිපතිවරයා ස`දහන් කළා. 

”සෞභාග්‍යයේ දැක්ම” සිය ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනයෙන් ප‍්‍රතිඥා දුන් පරිදි සිය පාලන සමය තුළ සියලූ ජන කොටස්වල ආරක්ෂාව තහවුරු කරන බවත්, කුමන ආකාරයක හෝ අන්තවාදී ප‍්‍රචණ්ඩත්වයට ඉඩ නොතබන බවත්, පාස්කු ඉරු දින ප‍්‍රහාරයට වසරක් පිරීම වෙනුවෙන් ජනාධිපතිවරයා නිකුත් කළ පණිවුඩයේ දැක්වෙනවා. 

එම ප‍්‍රහාරයට වගකිවයුත්තන් නිශ්චිතව හඳුනාගෙන නීතිය හමුවට පමණුවන බවට තමන් සහතික වන බව ද ජනාධිපතිවරයා එමගින් යළි අවධාරණය කර තිබෙනවා.