Monday, April 29, 2024

General line - 0115112241

කසිප්පු වටලන්න ගිය පොලිස් නිලධාරියෙකුට පොලිස් ස්ථානයේදීම තර්ජන




වාරියපොළ පොලිස් ස්ථානය තුළදී පොලිස් පරීක්ෂකවරයෙකුට පහර දීමට තැත් කළ පුද්ගලයෙකු මේ මස 29 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.

ඒ, වාරියපොළ මහේස්ත‍්‍රාත් අධිකරණයේ නියෝගයකට අනුවයි.

වාරියපොළ පොතුවැව ප‍්‍රදේශයේ මත්පැන් ජාවාරම්කරුවෙකු විසින් දුරකථනයෙන් තර්ජනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මෙම පොලිස් පරීක්ෂකවරයා ඉකුත් 19 වන දින එම පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයා දැනුවත් කර තිබෙනවා.

ඒ අනුව, වාරියපොළ පොලිස් ස්ථානාධිපතිවරයා විසින් අදාළ පොලිස් පරීක්ෂකවරයාට තර්ජනය කළ මත්පැන් ජාවාරම්කරු එදිනම පොලිස් ස්ථානය වෙත ගෙන්වා අවවාද කර ඇති බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය පැවසුවේ.

අදාළ අවස්ථාවේ මත්පැන් ජාවාරම්කරු ප්‍රදේශයේ හිමිනමක් සහ තවත් පුද්ගලයෙකු සමග පොලිසියට පැමිණ තිබුණා. අදාළ වීඩියෝවේ දැක්වෙන පරිදි එසේ පැමිණ ඇති හිමිනම ද පොලිස් ස්ථානය තුළ කලබලකාරී ලෙස හැසිරෙමින් කටයුතු කර තිබුණා.

එසේ පැමිණි පුද්ගලයෙකු, අදාළ පොලිස් පරීක්ෂකවරයාව තල්ලූ කර ඇති අතර ඔහුගේ හිස බිත්තියක වැදී ඇති බව ද පොලිස් මාධ්‍ය කොට්ඨාසය පැවසුවා. එම අවස්ථාවේදීම පොලිස් පරීක්ෂකවරයා විසින් අදාළ පුද්ගලයා මෙල්ල කර අත්අඩංගුවට ගෙන තිබෙනවා. සැකකරු අධිකරණයට ඉදිරිපත් කර ඇත්තේ ඒ අනුවයි.