Wednesday, May 8, 2024

General line - 0115112241

අමෙරිකාවේ කි‍්‍රයාත්මක තාවකාලික සංක‍්‍රමණික තහනම ගැන පැහැදිළි කෙරේ




අමෙරිකා එක්සත් ජනපදයේ කි‍්‍රයාත්මක කරන තාවකාලික සංක‍්‍රමණික තහනම බලපැවැත්වෙන්නේ ග‍්‍රීන් කාඞ් ක‍්‍රමවේදය මගින් අමෙරිකාවට පැමිණීමට අපේක්ෂා කරන පුද්ගලයින් සඳහා පමණක් බව එරට ජනාධිපති ඩොනල්ඞ් ට‍්‍රම්ප් ප‍්‍රකාශ කර තිබෙනවා.

ඔහු සඳහන් කර ඇත්තේ දින 60 ක කාලයක් සඳහා ග‍්‍රීන් කාඞ් ක‍්‍රමවේදය අත්හිටුවීමට තීරණය කළ බවයි. දින 60 ක කාලයෙන් පසුවද එය නැවත යාවත්කාලීන කිරීමට අවශ්‍ය ද යන්න, එම අවස්ථාවේ පවතින තත්ත්වය අනුව තීරණය කිරීමටයි නියමිතව ඇත්තේ.

තාවකාලික පදනම මත අමෙරිකාවට පැමිණෙන කම්කරුවන්ට මෙම තහනම බල පැවැත්වෙන්නේ නැහැ. තාවකාලික සංක‍්‍රමණික තහනමත් සමග පුරප්පාඩු වන රැකියා අවස්ථා සඳහා, රැකියා විරහිත අමෙරිකා පුරවැසියන්ට ප‍්‍රමුඛතාවය ලබා දිය යුතු බව ද ජනාධිපති ට‍්‍රම්ප් ප‍්‍රකාශ කර තිබෙනවා. 

මෙම තාවකාලික සංක‍්‍රමණික තහනමට අදාළ විධායක නියෝගය මේ වනවිට සකස් කර අවසන් බවත්, ඊට අද දිනයේ අත්සන් තැබීමට අපේක්ෂා කරන බවත් ඩොනල්ඞ් ට‍්‍රම්ප් වැඩිදුරටත් සඳහන් කළා. කොරෝනා වෛරසය ව්‍යාප්තිය පාලනය කිරීම සහ අමෙරිකානු පුරවැසියන්ගේ රැකියා සුරක්ෂිත කිරීමේ අරමුණින් තාවකාලික සංක‍්‍රමණික තහනමක් පැනවීමට තීරණය කළ බව අමෙරිකානු ජනාධිපතිවරයා ප‍්‍රකාශ කළේ පසුගිය සදුදා දිනයේදීයි. 

ඩොනල්ඞ් ට‍්‍රම්ප්ගේ මෙම තීරණය අමෙරිකාවට පැමිණීමට අපේක්ෂා කරන දස දහසකට අධික පුද්ගලයින්ට බලපාන බවයි එරට ස්වදේශ ආරක්ෂක දෙපාර්තමේන්තුවේ සංඛ්‍යාලේඛන පෙන්වා දෙන්නේ.

ඒ අතරින් බොහෝ දෙනෙකු අමෙරිකානු පුරවැසියන්ගේ පවුල්වල සාමාජිකයින් බව ද එම වාර්තාවල සඳහන්. 2019 වසරේ සිට මේ දක්වා විදේශිකයින් හාරලක්ෂ 59,000 ක් අමෙරිකාවේ ග‍්‍රීන්කාඞ් හිමියන් බවට පත්ව තිබෙනවා.

මේ අතර, අමෙරිකාවෙන් වාර්තා වන කොරෝනා වෛරසය ආසාදිතයින් ගණන මේ වනවිට 08 ලක්ෂය ඉක්මවා ගොස් තිබෙනවා.  නවතම වාර්තාවල දැක්වෙන්නේ එරටින් වාර්තා වන ආසාදිතයින් ගණන 08 ලක්ෂ 18,744 ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි. අමෙරිකාවෙන් වාර්තා වී ඇති කොරෝනා මරණ ගණන 45,318 ක්. 

මේ වනවිට ලොව පුරා වාර්තා වී ඇති කොරෝනා ආසාදිතයින් ගණන 25 ලක්ෂ 56,512 දෙනෙකු දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ලොව පුරා වාර්තා වන කොරෝනා මරණ ගණන එක්ලක්ෂ 77,608 ක්. සුවය ලබා ඇති පුද්ගලයින් ගණන 06 ලක්ෂ 90,263 ක් වනවා.