Wednesday, May 8, 2024

General line - 0115112241

රුධිර ප්ලාස්ම ලබාදුන් ඉන්දියාවේ කොරෝනා රෝගියෙක් සුවය ලබයි 




ඉන්දියාවේ කොරෝනා වෛරසය වැලදී අසාධ්‍ය තත්ත්වයේ පසුවූ රෝගියෙකුට සිදුකළ ප්ලාස්ම චිකිත්සාව සාර්ථක වී ඇති බව එරට මාධ්‍ය වාර්තා කර සිටිනවා.

කොරෝනා වෛරසය වැලදී ඉන් සුවය ලැබූ පුද්ගලයෙකු ගෙන් ලබා ගත් රුධිර ප්ලාස්ම මේ අයුරින් ලබාදී ඇත්තේ දිල්ලියේ පිහිටි පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටි 49 හැවිරිදි රෝගියෙක්ට බවයි වාර්තා වන්නේ. එම රෝගියා වෛරසස හේතුවෙන් දැඩි ලෙස ගිලන්වී ශ්වසන යන්ත්‍ර ආධාරයෙන් සිටි අයෙක් බවත් මේ වන විට ඔහු එම යන්ත්‍රයෙන් ඉවත් කොට සාමාන්‍ය පරිදි රෝහලේ සිටින බවයි එරට මාධ්‍ය වාර්තා කර ඇත්තේ.

කොරෝනා වෛරසයෙන් සුවය ලැබූ පුද්ගලයින්ගෙන් ලබා ගන්නා රුධිර ප්ලාස්මාවන් දැඩි ලෙස ගිලන්වී සිටින වෛරස් ආසාධිතයින්ට ලබාදීමේ සායනික කටයුතු ඉකුත් සතියේදී දිල්ලියෙන් ආරම්භ කෙරුණා. මෙහිදී ශ්වසන ආධාර යන්ත්‍ර සිටින රෝගීන්ට ප්‍රමුඛතාවය ලබාදීමටයි වෛද්‍යවරුන් කටයුතු කරනු ලැබුවේ.

ඒ අනුව ඉකුත් අප්‍රේල් මස 04 වෙනිදා උණ සහ ශ්වසන ආබාධ සහිතව රෝහල් ගත කරන ලද රෝගීයෙකුගේ තත්ත්වය අප්‍රේල් මස 08 වෙනිදා බරපතල අතට හැරීමෙන් අනතුරුව ඔහුට ශ්වසන ආධාරක යන්ත්‍රයක සහය ලබාදීමට වෛද්‍යවරුන් කටයුතු කර තිබෙනවා.

නමුත් ඔහුගේ තත්ත්වය යහපත් අතට පත් නොවීම නිසා පවුලේ සාමාජිකයින් විසින් සිදුකරන ලද ඉල්ලීමකට අනුව වෛද්‍යවරුන් විසින් ඔහුට රුධිර ප්ලාස්ම චිකිත්සාව සිදුකර ඇත.

මේ වන විට 49 හැවිරිදි ආසාධිත රෝගියාට දෙවතාවක් කොරෝනා පරීක්ෂණයක් සිදුකර ඇති අතර එමගින් ඔහුට වෛරසය වැලදී නොමැති බවට තහවුරුවී ඇති බවයි වෛද්‍යවරුන් පවසන්නේ.

“ප්ලාස්මා චිකිත්සාව මායාවක් නොවන බව අප වටහා ගැනීම වැදගත්, ඔහුට රුධිර ප්ලාස්ම ලබාදීමේදී සම්මත ප්‍රතිකාර ක්‍රම අනුගමනය කිරීමට රෝහලේ වෛද්‍යවරුන් කටයුතු කළා. කෙසේ වුවත් ඔහුට මෙම ප්ලාස්ම චිකිත්සාවෙන් සුවය ලැබූ බවට අප සීයයට සියයක් කිව නොහැකි බව” දිල්ලියේ පිහිටි එම පෞද්ගලික රෝහලේ වෛද්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය සන්දීප් බුධිරාජ සඳහන් කලේ.

එක් කොරෝනා වෛරසය වැළදී සුවය ලැබූ පරිත්‍යාගශීලියෙකු ලබා දෙන ප්ලාස්මා මිලි ලීටර් 400 ක් පරිත්‍යාග කළ හැකි අතර එමඟින් ජීවිත දෙකක් බේරා ගත හැකි බවයි වෛද්‍යවරු සඳහන් කර සිටියේ.