Monday, April 29, 2024

General line - 0115112241

අතරමැදි ශ්‍රේණිවලට සිසුන් ඇතුළත් කර ගැනීමේ බලය විදුහල්පතිවරුන්ට




ජාතික පාසල්වල අතරමැදි ශ්‍රේණිවලට සිසුන් ඇතුළත් කරගැනීමේ බලය එම පාසල්වල විදුහල්පතිවරුන් වෙත පැවරීමට අධ්‍යාපන අමාත්‍යාංශයේ අවධානය යොමුව තිබෙනවා.

අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් එන්. එච්. එම්. චිත‍්‍රානන්ද නෙත් නිවුස් වෙත කියා සිටියේ ලබන වසරේ සිට මෙම වැඩපිළිවල කි‍්‍රයාත්මක කිරීමට සිය අමාත්‍යාංශයේ අවධානය යොමුව ඇති බවයි.

ජාතික පාසල්වල 1, 5 සහ 6 ශ්‍රේණි හැර අනෙකුත් ශ්‍රේණිවලට සිසුන් ඇතුළත් කරගැනීමේ බලය දැනට පවතින්නේ අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරයා සතුවයි. විධිමත් ක‍්‍රමවේදයක් යටතේ සිසුන් බඳවා ගැනීමේ බලය විදුහල්පතිවරුන් වෙත ලබා දීමටත්, ඒ සම්බන්ධයෙන් වන වැඩපිළිවෙල ඉදිරියේදී ජාතික පාසල්වල විදුහල්පතිවරුන් වෙත චක‍්‍රලේකයක් මගින් දැනුම් දීමටත් අවධානය යොමුව ඇති බවයි අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරයා වැඩිදුරටත් සඳහන් කළා. 

අධ්‍යාපන අමාත්‍යාංශය වෙත මහජන දිනයන්හි වැඩිම පිරිසක් පැමිණෙන්නේ අතරමැදි ශ්‍රේණි සඳහා සිසුන් ඇතුළත් කරගැනීමටයි.

ඇතැම් දිනවල පුද්ගලයින් දෙදහසක් පමණ ඒ සඳහා සිය අමාත්‍යාංශයට පැමිණෙන බවත්, විශාල පිරිසකට සිය අවශ්‍යතා ඉටු කර නොගෙන ආපසු හැරී යාමට සිදු වන බවත් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් එන්. එච්. එම්. චිත‍්‍රානන්ද නෙත් නිවුස් වෙත කියා සිටියා. 

මෙම තත්ත්වයන් සැලකිල්ලට ගනිමින් අදාළ බලතල ජාතික පාසල්වල විදුහල්පතිවරුන් වෙත පැවරීමට අවධානය යොමු කළ බව අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරයා වැඩිදුරටත් සඳහන් කළා.