Sunday, April 28, 2024

General line - 0115112241

කොරෝනා මැද 'අම්ෆන්' ඉන්දියාවට සහ බංග්ලාදේශයට ඇතුළු වෙයි




ශී‍්‍ර ලංකාවේ කාලගුණයටද බලපෑම් කළ අම්ෆන් සුළිකුණාටුව ඉන්දියාවේ නැගෙනහිර ප‍්‍රදේශයට හා බංග්ලාදේශයට ඇතුළුවී තිබෙනවා. මේ හේතුවෙන් ඇති වූ ආපදාවලින් පුද්ගලයින් 15 දෙනෙකු මේ වනවිටත් ජීවිතක්‍ෂයට පත්ව ඇතැයි විදෙස් මාධ්‍යයන්හි සඳහන්.

අවතැන් වී ඇති සංඛ්‍යාව මිලියන 3 කට ආසන්නයි. ඉන් බහුතරය බංග්ලාදේශ ජාතිකයින්. ප‍්‍රදේශ රැසකට අධික වර්ෂාපතනයක් සහ දැඩි සුළං තත්ත්වයක්ද පවතින්නේ ජන ජීවිතය අකර්මන්‍ය කරමින්.

ඉන්දියාව සහ බංග්ලාදේශයට මෙලෙස දරුණු සුළි කුණාටුවක බලපෑම් එල්ල වුණේ කොරෝනා වෛරසයෙන්ද දැඩි බලපෑම් එල්ල වී ඇති පසුබිමකයි.

ගත වූ පැය 24 දී නව කොරෝනා ආසාදිතයින් 5,553 දෙනෙකු සමග ඉන්දියාවෙන් වාර්තා වන සමස්ත ආසාදිතයින් ගණන එක් ලක්‍ෂ 12,028 ක්. වාර්තා වන මරණ සංඛ්‍යාව 3,434 ක් වනවා.

ගත වු පැය විසිහතරේ අලූතින් ආසාදිතයින් 1,617 ක් සමග බංග්ලාදේශයෙන්ද කොරෝනා ආසාදිතයින් 26,738 ක් වාර්තා වන්නේ පුද්ගල මරණ 386 ක් ද සමගයි.

මේ අතර ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන්නේ වෛරසය තුරන් කිරීමට තවත් බොහෝ කලක් ගතවනු ඇති බවයි. ඒ, දෛනිකව තවදුරටත් කොරෝනා ආසාදිතයින් වාර්තාවීම හේතුවෙන්. ගත වු පැය 24 තුළ ලොව පුරා අලූතින් වාර්තා වූ කොරෝනා ආසාදිතයින් ගණන එක් ලක්‍ෂ 6,000 ක් වනවා.