Sunday, May 5, 2024

General line - 0115112241

ආදර්ශ ඡන්ද විමසීම අද සිදු කෙරේ




ගාල්ල දිස්ත‍්‍රික්කයේ අම්බලන්ගොඩ ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ තෝරාගත් ග‍්‍රාම නිලධාරී වසමක අද (07) ආදර්ශ ඡන්ද විමසීමක් සිදු කෙරෙනවා. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ලබා දී ඇති මාර්ගෝපදේශ අනුව නව ක‍්‍රමයකට ඡන්ද විමසීම පැවැත්වීමේදී ඇතිවිය හැකි තත්ත්වයන් පිළිබඳ අවබෝධයක් ලබා ගැනීම මෙහි අපේක්ෂාවයි.

මේ ඒ පිළිබඳ වැඩිදුරටත් කරුණු දක්වන මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ‍්‍රී රත්නායක සඳහන් කළේ නව ක්‍රමවේදය යටතේ එක් ඡන්දදායකයෙක් වෙනුවෙන් කොපමණ වේලාවක් ගත වන්නේද යන්න අවබෝධයක් ලබා ගැනීම මෙහි අරමුණ බවයි. එහිදී දරන්නට සිදුවන වියදම් පිළිබඳව ද අවබෝධයක් ලබා ගැනීම එහි තවත් අරමුණක්.

නෙත් නිවුස් පාර්ශ්ව කීපයකින් මීට පෙර කරන ලද විමසීම් වලදී ඡන්ද විමසීම පවත්වන ආකාරයේ සිදු කළ හැකි වෙනස්කම් පිළිබඳ විවිධ යෝජනා ඉදිරිපත් වුණා. පැෆරල් සංවිධානය පැවසුවේ වැඩිහිටියන් සහ ගර්භනී කාන්තාවන් වැනි අවදානම් කණ්ඩායම් සඳහා ඡන්දය ප‍්‍රකාශ කිරීමට වෙනම වේලාවක් වෙන්කිරීම සුදුසු බවයි. ඡන්දය ප‍්‍රකාශ කිරීම සඳහා පෑනක් හෝ පැන්සලක් පෞද්ගලිකව රැගෙන ඒමට ඡන්දදායකයන්ට අවසර දිය හැකි බව ද එහිදී ප‍්‍රකාශ කෙරුණා. ඡන්ද මධ්‍යස්ථාන ගණන වැඩි කිරීම ද පැෆරල් සංවිධානයේ යෝජනාවක්. 

මේ අතර ඡන්දය එක දිනකදී පවත්වනවා වෙනුවට කොටස් වශයෙන් දින කිහිපයක දී ඡන්ද විමසීම පැවැත්වීමට සළකා බැලිය හැකි බව ආචාර්ය ප‍්‍රතිභා මහානාම හේවා පෙන්වාදුන්නා. තැපැල් ඡන්දය ප‍්‍රකාශ කිරීමට පාර්ශව වැඩි ගණනකට අවස්ථාව ලබාදීම ද ඉදිරිපත් වී ඇති තවත් යෝජනාවක්.